ක්‍රියා 22:4-16

ක්‍රියා 22:4-16 SNRV

මේ ධර්ම මාර්ගයට අයිති වූවනට මැරෙන තුරු පීඩා කෙළෙමි; පුරුෂයන් ද ස්ත්‍රීන් ද අත්අඩංගුවට ගෙන හිරගෙවලට භාර දුනිමි. ඒ ගැන උත්තම පූජකයා ද මුළු මන්ත්‍රණ සභාව ද මට සාක්ෂි දරති. ඔවුන්ගෙන් ද දමස්කයේ ජුදෙව් සහෝදරයන්ට ලියුම් ලබාගෙන එහි සිටි අයටත් දඬුවම් කරන පිණිස ඔවුන් බැඳ ජෙරුසලමට ගෙනෙන්නට මම එහි ගියෙමි.” “මා ගමන් කරමින් දමස්කයට ළං වූ කල, ඉර මුදුන් වේලාව පමණේ දී හදිසියෙන් අහසින් අතිදීප්තිමත් ආලෝකයක් මා වටකර බැබළිණි. මම බිම වැටුණෙමි. එවිට, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ’යි කියන හඬක් ඇසුණි. මම ද ‘ස්වාමීනි, ඔබ කවරෙක් දැ’යි ඇසීමි. ‘මම නම් නුඹ පීඩා කරන නාසරෙත්හි ජේසුස් ය’යි උන් වහන්සේ මට වදාළ සේක. මා සමඟ සිටි අය ආලෝකය දුටුවෝ ය. එහෙත් මට කතා කළ තැනැන් වහන්සේගේ හඬ ඔවුනට ඇසුණේ නැත. ‘ස්වාමීනි, මම කුමක් කරම් දැ’යි මම ඇසීමි. සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘නැඟිට දමස්කයට යන්න; දෙවියන් වහන්සේ නියම කර ඇති අන්දමට ඔබ කළ යුතු සියල්ල ඔබට එහි දී දන්වනු ලැබේ ය’යි වදාළ සේක. ඒ ආලෝකයේ උද්දීප්තිය නිසා මාගේ ඇස් නොපෙනී ගියේ ය. එබැවින් මාගේ සහචරයෝ මා අතින් අල්ලා ගෙන දමස්කයට ගෙන ගියහ. “ව්‍යවස්ථාවලිය මනා සේ පිළිපැද්ද, එසේ ම එහි වසන සියලු ජුදෙව්වරුන්ගේ ප්‍රසාදය දිනා ගත් අනනියස් නම් මනුෂ්‍යයෙක් මා වෙත අවුත්, ‘සහෝදර සාවුල්, පෙනීම ලබන්නැ’යි මට කී ය. මම ද එවේලේ ම පෙනීම ලැබ ඔහු දෙස බැලීමි. ඔහු කතා කොට, ‘අපේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ කැමැත්ත දැනගන්නටත්, ධර්මිෂ්ඨයාණන් දකින්නටත්, උන් වහන්සේගේ මුඛයෙන් වචනය අසන්නටත් ඔබ තෝරා ගත් සේක. මන්ද, ඔබ ඇසූ දුටු දේ ගැන සියලු මනුෂ්‍යයන්ට ඔබ උන් වහන්සේගේ සාක්ෂිකාරයෙක් වන්නෙහි ය. ඉදින් පමා වන්නේ මන් ද? නැඟිට උන් වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරමින්, බව්තීස්ම-ස්නාපනය ලැබ, ඔබේ පව් සෝදා හරින්නැ’යි කී ය.”