ක්‍රියා 21:1-17
ක්‍රියා 21:1-17 SNRV
අපි ඔවුන්ගෙන් වෙන් ව නැව් නැඟී කෙළින් ම ගොස්, කෝස්ට ද පසුවදා රෝදස්ට ද එතැනින් පතාරාට ද ආවෙමු. එහි දී පිනීසියා ව බලා යන නැවක් සම්බ වී එහි නැඟී පිටත් වුණෙමු. සයිප්‍රසය පෙනෙන තෙක් මානයට ආවායින් පසු, ඉන් දකුණු දෙසට යාත්‍රා කොට සිරියාවට පැමිණ, තීර්හි දී ගොඩ බැස්සෙමු. මන්ද, එහි බඩු ගොඩබාන්නට තිබුණේ ය. අපි එහි දී ශ්‍රාවකයන් සොයාගෙන සත් දවසක් නැවතී සිටියෙමු. ජෙරුසලමට නොයන ලෙස ඔව්හු ආත්මයාණන් වහන්සේගෙන් අවවාද ලැබ, පාවුලුට එපවත් කී හ. එහෙත් ඒ දවස් ගත වූ පසු අපි පිටත් ව අපේ ගමන ගියෙමු. අප නුවරින් පිට වන තුරු ඔව්හු සියලු දෙනා ම තමන්ගේ භාර්යාවන් හා දරුවන් ද සමඟ අප කැටුව ආහ. අපි වෙරළෙහි දණින් වැටී යාච්ඤා කර, එකිනෙකාට සුබපතා, නැව් නැඟුණෙමු. ඔව්හු තම නිවෙස් කරා හැරී ගියහ. අපි තීර් සිට පිටත් ව ගොස් අපේ මුහුදු ගමන නිම කොට, තොලිමයිසයට පැමිණියෙමු. එහි දී සහෝදරයන්ට ආචාර කොට ඔවුන් සමඟ දවසක් නැවතී සිටියෙමු. පසුදා අපි පිටත් ව කායිසාරියට අවුත්, සත් දෙනාගෙන් එක් කෙනෙකු වූ ධර්මදූත පිලිප්ගේ ගෙට පැමිණ, ඔහු සමඟ නැවතී සිටියෙමු. දිවැස් වැකි කීමේ වරය ලත්, කන්‍යා දූවරු සතර දෙනෙක් ඔහුට සිටියෝ ය. බොහෝ දවස් අප එහි නැවතුණ අතර, අගබස් නම් එක් දිවැසිවරයෙක් ජුදයෙන් අප වෙත පැමිණියේ ය. ඔහු පාවුලුගේ ඉඟපටිය රැගෙන එයින් තමාගේ ම අත් පා බැඳ ගෙන, “ජුදෙව්වරුන් මේ ඉඟපටිය අයිති මිනිසා ජෙරුසලමේ දී මේ ආකාරයෙන් බැඳ විජාතීන්ගේ අත්වලට පාවා දෙති යි ශුද්ධාත්මයාණන් වහන්සේ කියන සේකැ”යි පැවසී ය. අප මේ දේ ඇසූ කල, ඒ ස්ථානයේ සිටි අය ද අපි ද ජෙරුසලමට නොයන ලෙස ඔහුගෙන් උදක් ම ඉල්ලීමු. එවිට පාවුලු උත්තර දෙමින්, “ඔබ කුමක් කරන්නහු ද? හැඬීමෙන් මාගේ අධිෂ්ඨානය දුර්වල කරන්නේ මන් ද? මම ජෙරුසලමේ දී ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමය නිසා හිරගෙට පමණක් නොව මැරෙන්නට වුවත් සූදානම් ව සිටිමි”යි කී ය. ඔහු කැමැති කරවාගන්නට නොහැකි වූයෙන්, “සමිඳාණන් වහන්සේගේ කැමැත්ත වේ වා!”යි කියමින් අපි නිහඬ වීමු. ටික දවසකට පසු අපි බඩුබාහිරාදිය රැගෙන ජෙරුසලම බලා ගියෙමු. කායිසාරියේ ශ්‍රාවකයන්ගෙන් සමහරෙක් අප සමඟ අවුත් බොහෝ කලෙක පටන් ශ්‍රාවකයෙකු ව සිටි සයිප්‍රසයේ මීනාසොන් නම් කෙනෙකු වෙත නවාතැන් ගන්නට අප කැඳවාගෙන ගියහ. අප ජෙරුසලමට පැමිණි කල සහෝදරයෝ ප්‍රීතියෙන් අප පිළිගත්හ.

