ක්රියා 2:29-47
ක්රියා 2:29-47 SNRV
“සහෝදරවරුනි, ආදි පිතෘ වන දාවිත් මළ බවත්, තැන්පත් කරනු ලැබූ බවත් නොවළහා කියන්නට කැමැත්තෙමි. ඔහුගේ සොහොන අද දක්වා අප අතර ඇත. ඔහු දිවැසිවරයෙකු වූ බැවින්, ඔහුගේ වංශයෙන් කෙනෙකු ඔහුගේ සිංහාසනය පිට හිඳුවන සේකැ යි දෙවියන් වහන්සේ දිවුරුමකින් ඔහුට දිවුළ බව ඔහු දැන ගත්තේ ය. ඔහු මෙය කල් මත්තෙන් දැක, ක්රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය ගැන කතා කරමින්, ‘උන් වහන්සේ පාතාලයේ හැරදමනු නොලැබූ බවත්, උන් වහන්සේගේ සිරුර ජරාපත් නොවූ බවත්’ කී ය. “දෙවියන් වහන්සේ මෙම ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන කොට වදාළ සේක. එයට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝ වෙමු. උන් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණතින් උසස් කරනු ලැබ, පියාණන් වහන්සේ පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් ලබා, ඔබ අසන දකින මේ දේ ප්රදානය කළ සේක. එහෙත් දාවිත් ස්වර්ගයට නැඟුණේ නැත. මන්ද, ඔහු ම, ‘මා ඔබේ සතුරන් ඔබේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ මා සමිඳුන්ට වදාළ සේකැ’යි කියයි. “එබැවින් ඔබ කුරුසියෙහි ඇණ ගැසූ මේ ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ විසින් ස්වාමීන් බවටත්, ක්රිස්තුන් බවටත්, පත් කර වදාළ බව මුළු ඉශ්රායෙල් ජනතාව සහතික ලෙස දැන ගනිත් වා.” ඔව්හු ඒ අසා සන්තාපිත සිත් ඇති ව “සහෝදරවරුනි, අප කුමක් කළ යුතු දැ”යි පේදුරුගෙන් ද අනෙක් අපෝස්තුළුවරුන්ගෙන් ද විචාළහ. පේදුරු තුමා පිළිතුරු දෙමින්, “ඔබ සියලුදෙනා ම පසුතැවී සිත් හරවා ගෙන පව්කමාව ලබන පිණිස ජේසුස් ක්රිස්තුන් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය ලබන්න. එවිට ඔබ ශුද්ධාත්ම දීමනාව ලබන්නහු ය. මන්ද, ඒ පොරොන්දුව ඔබටත්, ඔබගේ දරුවන්ටත්, දුර බැහැර වෙසෙන අන් අයටත්, සැබැවින් ම, අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලබන සියල්ලන්ටත් ය”යි කී ය. ඔහු තවත් බොහෝ වචනවලින් උදක් ම අයැදිමින්, “මේ කුහක පරම්පරාවෙන් ගැළවෙන්නැ”යි ඔවුන්ට අනුශාසනා කෙළේ ය. එවිට ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. ඒ දවසේ දී තුන්දාහක් පමණ පුද්ගලයෝ ඔවුන්ගේ සංබ්යාවට එකතු කරන ලදහ. ඔව්හු අපෝස්තුළුවරුන්ගේ ඉගැන්වීමෙහි ද, සහභාගිකමෙහි ද පූප කැඩීමෙහි ද යාච්ඤාවෙහි ද නිරත ව කල් ගත කළහ. සියලු දෙනා තුළ ගෞරවාන්විත භීතියක් ඇති විය. අපෝස්තුළුවරුන් අතින් බොහෝ අරුමපුදුම දේ හා ලකුණු සිදු විය. ඇදහිලිවතුන් සියල්ලෝ එක් වී හැම දෙය ම පොදුවේ තබාගත්හ. ඔව්හු තමන්ගේ ඉඩකඩම් හා දේපළ විකුණා එකිනෙකාගේ වුවමනාවේ හැටියට සියලු දෙනා අතර බෙදාගත්හ. තවද, ඔව්හු දිනපතා නොකඩ ව ම, එක්සිත් ව දේව මාලිගාවේ රැස් වෙමින් ද ගෙයින් ගෙට යමින් පූප කඩමින් ද තම තමන් අතර ප්රීතියෙනුත්, ත්යාගිවන්ත සිතිනුත් ආහාර බෙදාගනිමින් ද දෙවියන් වහන්සේට ප්රශංසා කරමින් හා සියල්ලන්ගේ ප්රසාදය ලබමින් ද කල් යැවූ හ. සමිඳාණන් වහන්සේ ගැළවීම ලබන්නන්ගේ ගණන දවසින් දවස වැඩිකර වදාළ සේක.


