ක්‍රියා 2:13-28
ක්‍රියා 2:13-28 SNRV
එහෙත් සමහරෙක් සරදම් කරමින්, “මොවුන් අලුත් මිදියුස පමණට වඩා බී ඇතැ”යි කී හ. එවිට එකොළොස් දෙනා සමඟ නැඟී සිටි පේදුරු තුමා ශබ්ද නඟා ඔවුන්ට මෙසේ කී ය: “ජුදෙව් ජනයිනි, ජෙරුසලමේ වසන සියල්ලෙනි, මෙය දැනගන්න; මගේ වචනවලට සාවධාන ව සවන් දෙන්න. තව ම වේලාව උදේ නවය බැවින් ඔබ සිතන හැටියට මේ අය වෙරි වී නැත. මේ සිද්ධිය නම් ජෝවෙල් දිවැසිවරයා කී දෙය ඉටු වීමකි. ඒ මෙලෙස ය: “දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: අන්තිම දවස්වල දී සකල මනුෂ්‍යයන් මාගේ ආත්මානුභාවයෙන් පුරවා ලමි. එවිට ඔබේ දූ පුත්තු දිවැසි වැකි කියති; ඔබේ තරුණයෝ දර්ශන දකිති, ඔබේ මහල්ලෝ ද පැතුම් පතති. එපමණක් නොව, ඒ දවස්වල දී මාගේ දැසිදසුන්ට වුව ද මාගේ ආත්මානුභාවය ප්රදානය කරන්නෙමි; ඔව්හු ද දිවැස් වැකි පවසති. තවද, ඉහළ අහසේ අරුමපුදුම දේ ද, පහත පොළොවේ ලකුණු ද දක්වාලමි. ලේ ද ගිනි ද දුම්වලාපටල ද ඇති වේ. සමිඳාණන් වහන්සේගේ උදාර තේජාන්විත ඒ දවස පහළ වන්නට පෙර, ඉර අඳුරු වන්නේ ය. හඳ ලේ පාට වන්නේ ය. සමිඳාණන් වහන්සේගේ නාමය කියා අයැදින කවුරු නමුත් ගළවනු ලබන්නෝ ය.’ “ඉශ්රායෙල් ජනයිනි, මේ වචනයට සවන් දෙන්න. ඔබ ම දන්නා ලෙස, නාසරෙත්හි ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ විසින් තෝරා පත් කළ මනුෂ්‍යයෙකි. ඒ බව, දෙවියන් වහන්සේ උන් වහන්සේ මඟින් ඔබ අතර කළ ප්‍රබල ක්‍රියාවලින් ද අරුමපුදුම දේවලින් ද ලකුණුවලින් ද පෙන්වූ සේක. එම ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේගේ නියමිත අභිප්‍රාය හා පෙර දැනුම අනුව, පාවා දෙනු ලැබූ සේක. ඔබ අදමිටු මිනිසුන් ලවා උන් වහන්සේ කුරුසියේ ඇණ ගස්වා මරා දැමුවහු ය. එහෙත් දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන් වහන්සේ මුදා උත්ථාන කර වදාළ සේක. මන්ද, මරණයට උන් වහන්සේ බැඳ තබාගත නොහැකි විය. දාවිත් උන් වහන්සේ ගැන කතා කරමින් මෙසේ කී ය: ‘සමිඳාණන් වහන්සේ නිරතුරු මා ඉදිරියේ සිටිනු දුටිමි; මා නොසැලෙන පිණිස උන් වහන්සේ මාගේ දකුණු පසෙහි සිටින සේක. එබැවින් මාගේ හද සොම්නස් විය; මාගේ වචන ප්‍රමුදිත විය; මාගේ සිරුර ද බලාපොරොත්තුවෙන් පුල පුලා සිටින්නේ ය. මන්ද, ඔබ වහන්සේ, මාගේ ජීවිතය පාතාලයේ දමන්නේ වත්, ඔබගේ දැහැමි තැනැත්තා ජරාපත් වන්නට ඉඩ දෙන්නේ වත් නැත. ඔබ ජීවනයේ මාර්ගයන් මට දැන් වූ සේක. ඔබගේ වැඩවිසීමෙන් ඔබ මා ප්‍රීතියෙන් පුරවන සේක.

