ක්‍රියා 19:1-10

ක්‍රියා 19:1-10 SNRV

තවද අපොල්ලොස් කොරින්තියෙහි සිටිය දී, පාවුලු ඉහළ පළාත් මැදින් ගමන් කොට, එපීසයට පැමිණියේ ය. එහි දී ඔහුට සමහර ශ්‍රාවකයෝ හමු වූ හ. පාවුලු ඔවුන් අමතා: “ඔබ අදහා ගත් කල ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබුවහු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු, “නැත, ශුද්ධාත්මයාණන් වහන්සේ ඇති බවක් වත් නොඇසීමු”යි කී හ. “එසේ වී නම්, ඔබ කුමන බව්තීස්ම-ස්නාපනයක් ලැබුවහු දැ”යි ඔහු ඇසී ය. “ජොහන්ගේ බව්තීස්ම-ස්නාපනය”යි ඔව්හු කී හ. පාවුලු කතා කොට, “ජොහන් පසුතැවී සිත් හරවා ගැනීමේ බව්තීස්ම-ස්නාපනයෙන් බව්තීස්ම-ස්නාපනය කොට සෙනඟට කතා කරමින්, තමන්ට පසු ව එන තැනැන් වහන්සේ කෙරෙහි, එනම් ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගන්නා ලෙස සෙනඟට කී ය”යි පැවසී ය. ඔව්හු ඒ අසා ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. පාවුලු ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණි සේක. ඔව්හු අන්‍ය භාෂාවලින් කතා කරමින් දිවැස් වැකි පැවසූ හ. ඒ මනුෂ්‍යයෝ දොළොස් දෙනෙක් පමණ වූ හ. පාවුලු ධර්මශාලාවට ඇතුළු වී තුන් මසක් අතරතුරේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන නිර්භීත ලෙස තර්ක කරමින් ද සිත් දිනාගැනීමට උත්සාහ කරමින් ද සාකච්ඡා කෙළේ ය. එහෙත් සමහරුන් මුරණ්ඩු ව, අකීකරු ව, සමූහයා ඉදිරියෙහි ඒ ධර්ම මාර්ගය හෙළා දකිමින් කතා කළ කල්හි ඔහු ඔවුන්ගෙන් ඈත් වී, ශ්‍රාවකයන් වෙන් කරගෙන, තුරානස්ගේ ශිල්පශාලාවෙහි දවස්පතා තර්ක කරමින් සිටියේ ය. මෙය දෙවසක් කෙරීගෙන ගියේ ය. මෙසේ ආසියාවේ විසූ සියලු ජුදෙව්වරු ද ග්‍රීක්වරු ද සමිඳාණන් වහන්සේගේ වචනය ඇසූ හ.