ක්‍රියා 13:4-14

ක්‍රියා 13:4-14 SNRV

මෙසේ ඔව්හු ශුද්ධාත්මයාණන් විසින් යවන ලදුව සිලුකියට බැස ගොස්, එහි දී නැව් නැඟී සයිප්‍රසයට ගියහ. සලමිසයට පැමිණි කල, ඔව්හු ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවල දී දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළහ. ජොහන් ඔවුන්ගේ සහකාරයා විය. ඔවුන් මුළු දිවයින හරහා පාපස් දක්වා ගිය විට ‘බාර් ජේසුස්’ නම් ජුදෙව් ජාතික බොරු දිවැසිවර ඉන්ද්‍රජාලිකයෙක් ඔවුනට හමු විය. ඔහු සිටියේ බුද්ධිමත් මිනිසෙකු වූ සර්ගියස් පාවුලස් නම් දේශාධිපතියා සමඟ ය. ඒ අධිපති තෙමේ බාර්ණබස් සහ සාවුල් කැඳවාගෙන, දෙවියන් වහන්සේගේ වචනය අසන්නට කැමැති විය. එහෙත් එලිමස් මැගෝස් යන ග්‍රීක නාමයකින් ද හඳුන්වනු ලැබූ යථෝක්ත ඉන්ද්‍රජාලිකයා ඒ ඇදහිල්ලෙන් දේශාධිපතියා වළක්වන අදහසින්, ඔවුනට විරුද්ධ විය. එහෙත් පාවුලු යන නම ඇති සාවුල් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව, ඔහු දෙස නෙත් යොමා, “වංචාකාර, කෛරාටික, හැම යහපතට ම සතුරුකම් කරන, යක්ෂයාගේ පුත්‍රය, නුඹ සමිඳාණන් වහන්සේගේ යහ මඟ නොමඟට පෙරළීම නවත්වන්නේ නැද් ද? මෙන්න, සමිඳාණන් වහන්සේගේ උදහස නුඹ පිට ය. නුඹ අන්ධ වී කලකට ඉරු එළිය නොදක්නෙහි ය”යි කී ය. එකෙණෙහි ම ඇස් පටලයකින් ද අඳුරකින් ද ඔහුගේ ඇස් වැසිණි. ඔහු ද තමාට කනවැල අල්ලාගෙන යන්නට කෙනකු සොය සොයා ඒ මේ අත ගියේ ය. එකල දේශාධිපති තෙමේ සිදු වූ දේ දැක, සමිඳාණන් වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මයට පත් වී, අදහා ගත්තේ ය. පාවුලු සහ පිරිස පාපස්හි සිට නැව් නැඟී ගොස්, පම්පිලියේ පර්ගායට පැමිණියෝ ය. එවිට ජොහන් ඔවුන්ගෙන් වෙන් ව ජෙරුසලමට පෙරළා ගියේ ය. ඔව්හු පර්ගායෙන් පිටත් ව ගමන් කොට, පිසිදියේ අන්තියෝකියට අවුත්, සබත් දවසේ දී ධර්මශාලාවට ඇතුළු වී අසුන් ගත්තෝ ය.