ක්‍රියා 10:9-33
ක්‍රියා 10:9-33 SNRV
පසු දින ඔවුන් ගමන් කොට ඒ නුවරට ළං වෙත් ම, පේදුරු මද්දහන වේලාව පමණේ දී යාච්ඤා කරන පිණිස වහල්තලයට නැඟුණේ ය. එවිට බඩගිනි ව, කෑම කන්නට ඔහුට ඕනෑ විය. එහෙත් ඔවුන් කෑම පිළියෙළ කරද්දී ඔහුට දිව්‍ය දර්ශනයක් ලැබුණි. එවිට අහස විවර ව, මහත් රුවලක් වැනි යම් දෙයක් එහි සතර කොණින් බැඳ පොළොවට බස්වනු ඔහු දිටී ය. පොළොවේ සියලු ආකාර සිවුපාවෝ ද උරග ජාතීහු ද ආකාශ පක්ෂීහු ද එහි සිටියෝ ය. “පේදුරු නැඟිට මරා කන්න” යන හඬක් ඔහුට ඇසිණි. එහෙත් පේදුරු, “ස්වාමීනි, එසේ නොවේ වා; මන්ද, අකැප, අපවිත්‍ර දෙයක් කිසි කලෙකත් මම නොකෑවෙමි”යි කී ය. “දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ, අකැප යයි නොකියන්නැ”යි දෙ වන වරටත් කියන හඬක් ඇසිණි. මෙය තුන් වරක් ම සිදු විය. එකෙණෙහි ම ඒ දේ අහසට ඔසවාගනු ලැබී ය. තවද, තමා දුටු දර්ශනය කුමක් දැ යි සිත සිතා, පේදුරු වියවුල් ව සිටිය දී, කොර්නේලියස් විසින් එවන ලද මනුෂ්‍යයෝ සීමොන්ගේ ගෙදර කොහේ දැ යි විමසමින් අවුත් එහි දොරටුව ළඟ සිට, “පේදුරු නම් ලත් සීමොන් මෙහි නැවතී සිටී දැ”යි හඬ නඟා ඇසූ හ. පේදුරු තමා දුටු දර්ශනය ගැන කල්පනා කරමින් සිටිය දී, ආත්මයාණන් වහන්සේ ඔහු අමතමින්, “අන්න, මිනිස්සු තුන් දෙනෙක් ඔබ සොයති. එබැවින් නැඟිට, බැස ගොස් කිසි සැකයක් නැති ව, ඔවුන් සමඟ යන්න. ඔවුන් එවූයේ මම ය”යි වදාළ සේක. එවිට පේදුරු ඒ මනුෂ්‍යයන් වෙතට බැස ගොස්: “ඔබ සොයන තැනැත්තා මම ය, ඔබ ආ කාරණය කිමෙක් දැ”යි ඇසී ය. ඔව්හු කතා කොට: “දැහැමි, දේව භය ඇති, මුළු ජුදෙව් ජාතිය ම ගරු කරන ශතාධිපතියෙකු වූ, කොර්නේලියස් තෙමේ තමාගේ ගෙදරට ඔබ කැඳවා ඔබෙන් ඔවදන් අසන පිණිස, දෙවියන් වහන්සේ විසින් ශුද්ධ වූ දේව දූතයෙකු ලවා අණ දෙනු ලැබී ය”යි කී හ. එවිට පේදුරු ඔවුන් ඇතුළට කැඳවා නවාතැන් දුන්නේ ය. පසුවදා ඔහු ඔවුන් සමඟ පිටත් ව ගියේ ය. ජොප්පාවේ සහෝදරයන්ගෙන් සමහරෙක් ද ඔහු කැටුව ගියහ. ඊට පසුදා ඔව්හු කායිසාරියට පැමිණියහ. කොර්නේලියස් තමාගේ නෑයන් ද හිතමිතුරන් ද කැඳවාගෙන ඔවුන් එන තුරු බලා සිටියේ ය. පේදුරු ගෙට පිවිසුණු විට, කොර්නේලියස් ඔහු ඉදිරියට ගොස් ඔහුගේ පාමුල වැඳ වැටුණේ ය. එහෙත් පේදුරු, “නැඟිටින්න, මමත් මනුෂ්‍යයෙකැ”යි කියා ඔහු එසෙව්වේ ය. පේදුරු ඔහු සමඟ කතා කරමින්, ගේ ඇතුළට ගොස්, බොහෝ දෙනෙකු රැස් ව සිටිනු දැක, ඔවුන් අමතා, “ජුදෙව් මිනිසෙකුට විජාතිකයෙකු හා සමඟ සමාගම් පැවැත්වීමත් ඔහු බලන්නට යාමත් තහනම් බව ඔබ දන්නහු ය. එහෙත් කවර මිනිසෙක් වුව ද පිළිකුල් ය නොහොත් අපවිත්‍ර යයි නොකිය යුතු බව දෙවියන් වහන්සේ මට පෙන්වා දුන් සේක. එබැවින් ඔබ මා කැඳවා යැවූ කල මම කිසි සැකයක් නැති ව ආවෙමි. ඔබ මා කැඳෙව්වේ මන්දැ”යි ඇසී ය. එවිට කොර්නේලියස්, “සිව්දිනකට පෙර මෙවැනි වේලාවක දී, සවස තුනට, මම ගෙදර යාච්ඤා කරමින් සිටියෙමි. එවිට දිළිසෙන වස්ත්‍ර හැඳගත් මිනිසෙක් මා ඉදිරියෙහි සිට, ‘කොර්නේලියස්, ඔබේ යාච්ඤා අසන ලද්දේ ය, ඔබේ පුණ්‍ය ක්‍රියා දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිහි කරන ලද්දේ ය; එබැවින් ජොප්පාවට මිනිසුන් යවා, පේදුරු නම් ලත් සීමොන් මෙතැනට කැඳවාගන්න; ඔහු මුහුද ළඟ සම් පදම්කරු සීමොන්ගේ ගෙයි නවාතැන් ගෙන සිටී ය’යි කී ය. එහෙයින් එකෙණෙහි ම මම ඔබ කැඳවා යැවීමි; ඔබේ පැමිණීම ඉතා හොඳ ය. දැන් සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ සියල්ල අසන පිණිස අපි සියල්ලෝ මෙහි දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටිමු”යි කී ය.

