ක්‍රියා 10:23-48

ක්‍රියා 10:23-48 SNRV

එවිට පේදුරු ඔවුන් ඇතුළට කැඳවා නවාතැන් දුන්නේ ය. පසුවදා ඔහු ඔවුන් සමඟ පිටත් ව ගියේ ය. ජොප්පාවේ සහෝදරයන්ගෙන් සමහරෙක් ද ඔහු කැටුව ගියහ. ඊට පසුදා ඔව්හු කායිසාරියට පැමිණියහ. කොර්නේලියස් තමාගේ නෑයන් ද හිතමිතුරන් ද කැඳවාගෙන ඔවුන් එන තුරු බලා සිටියේ ය. පේදුරු ගෙට පිවිසුණු විට, කොර්නේලියස් ඔහු ඉදිරියට ගොස් ඔහුගේ පාමුල වැඳ වැටුණේ ය. එහෙත් පේදුරු, “නැඟිටින්න, මමත් මනුෂ්‍යයෙකැ”යි කියා ඔහු එසෙව්වේ ය. පේදුරු ඔහු සමඟ කතා කරමින්, ගේ ඇතුළට ගොස්, බොහෝ දෙනෙකු රැස් ව සිටිනු දැක, ඔවුන් අමතා, “ජුදෙව් මිනිසෙකුට විජාතිකයෙකු හා සමඟ සමාගම් පැවැත්වීමත් ඔහු බලන්නට යාමත් තහනම් බව ඔබ දන්නහු ය. එහෙත් කවර මිනිසෙක් වුව ද පිළිකුල් ය නොහොත් අපවිත්‍ර යයි නොකිය යුතු බව දෙවියන් වහන්සේ මට පෙන්වා දුන් සේක. එබැවින් ඔබ මා කැඳවා යැවූ කල මම කිසි සැකයක් නැති ව ආවෙමි. ඔබ මා කැඳෙව්වේ මන්දැ”යි ඇසී ය. එවිට කොර්නේලියස්, “සිව්දිනකට පෙර මෙවැනි වේලාවක දී, සවස තුනට, මම ගෙදර යාච්ඤා කරමින් සිටියෙමි. එවිට දිළිසෙන වස්ත්‍ර හැඳගත් මිනිසෙක් මා ඉදිරියෙහි සිට, ‘කොර්නේලියස්, ඔබේ යාච්ඤා අසන ලද්දේ ය, ඔබේ පුණ්‍ය ක්‍රියා දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිහි කරන ලද්දේ ය; එබැවින් ජොප්පාවට මිනිසුන් යවා, පේදුරු නම් ලත් සීමොන් මෙතැනට කැඳවාගන්න; ඔහු මුහුද ළඟ සම් පදම්කරු සීමොන්ගේ ගෙයි නවාතැන් ගෙන සිටී ය’යි කී ය. එහෙයින් එකෙණෙහි ම මම ඔබ කැඳවා යැවීමි; ඔබේ පැමිණීම ඉතා හොඳ ය. දැන් සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ සියල්ල අසන පිණිස අපි සියල්ලෝ මෙහි දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටිමු”යි කී ය. එවිට පේදුරු මෙසේ කී ය: “දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නොබලන බව දැන් මට සැබැවින් ම පැහැදිලි ය. සියලු ජාතීන් අතර උන් වහන්සේ කෙරෙහි බිය ඇති, හරි දේ කරන තැනැත්තා උන් වහන්සේට ප්‍රියමනාප ය. උන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන සාමයේ සුබ අස්න ප්‍රකාශ කරමින් ඉශ්රායෙල් පුත්‍රයනට දහම් පණිවුඩය දුන් සේක. ඒ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සියල්ලන්ගේ සමිඳාණෝ ය. ජොහන් ප්‍රකාශ කළ බව්තීස්ම-ස්නාපනයට පසු ගලීලය පටන් ජුදය මුළුල්ලෙහි සිදු වූ දේ ඔබ දන්නහු ය; දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන් ද බලයෙන් ද නාසරෙත්හි ජේසුස් වහන්සේ ආලේප කළ සැටිත්, දෙවියන් වහන්සේ උන් වහන්සේ සමඟ සිටි බැවින්, උන් වහන්සේ යහපත් ක්‍රියා කරමින් ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින් ද හැසුරුණ සැටිත් ඔබ දන්නහු ය. උන් වහන්සේ ජුදෙව්වරුන්ගේ රටෙහි ද ජෙරුසලමෙහි ද කළ සියල්ලට අපි සාක්ෂිකරුවෝ වම්හ. ඔව්හු උන් වහන්සේ ගසක එල්ලා මැරූ හ. එහෙත් දෙවියන් වහන්සේ තුන් වන දා උන් වහන්සේ උත්ථාන කොට දර්ශනය වන්නට සැලැස්සූ සේක. උන් වහන්සේ සියල්ලනට ම පෙනුණේ නැත. පෙනුණේ, දෙවියන් වහන්සේ විසින් කලින් තෝරාගන්නා ලද සාක්ෂිකරුවන් වන, උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු උන් වහන්සේ සමඟ එකට කෑවා වූ, බීවා වූ, අපට ම ය. ජීවත් වන්නවුන්ගේ ද මළවුන්ගේ ද විනිශ්චයකාරයාණන් වන පිණිස දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද තැනැන් වහන්සේ, උන් වහන්සේ බව සෙනඟට ප්‍රකාශ කරන්නටත්, සාක්ෂි දෙන්නටත්, උන් වහන්සේ අපට අණ කළ සේක. උන් වහන්සේ අදහන සියල්ලනට උන් වහන්සේගේ නාමයේ අනුහසින් පව් කමාව ලැබෙන බවට සියලු දිවැසිවරයෝ සාක්ෂි දෙති”යි කී ය. පේදුරු මේ වචන කතා කරද්දී ම එය ඇසූ සියල්ලන් කෙරෙහි ශුද්ධාත්මයාණන් වහන්සේ පහළ වූ සේක. පේදුරු සමඟ පැමිණි, චර්මඡේදනය ලත් සැදැහැවත්හු විජාතීන් කෙරෙහි ශුද්ධාත්ම දීමනාව පහළ වූ බැවින් මවිත වූ හ. ඔවුන් අන්‍ය භාෂාවලින් කතා කරන සැටිත්, දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන සැටිත්, ඔවුනට ඇසිණි. එවිට පේදුරු උත්තර දෙමින්, “අප ලැබුවාක් මෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබූ ඔවුන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කිරීම වැළැක්විය හැක්කේ කවරෙකුට දැ”යි කී ය. ඔහු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්නට අණ කෙළේ ය. එවිට ඔව්හු, කීප දවසක් තමන් සමඟ නැවතී සිටින ලෙස ඔහුගෙන් ඉල්ලූ හ.