ක්‍රියා 1:14-25

ක්‍රියා 1:14-25 SNRV

මේ සියලු දෙනා, ස්ත්‍රීන් ද ජේසුස් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමිය ද උන් වහන්සේගේ සහෝදරයන් ද සමඟ එක්සිත් ව නොකඩ ව යාච්ඤාවේ නිරත වූ හ. මෙසේ, එක සිය විසි දෙනෙකු පමණ පිරිසක් රැස් ව සිටි විට, පේදුරු තුමා සහෝදරයන් මැද නැඟිට ඔවුන්ට මෙසේ කී ය: “සහෝදරවරුනි, ජේසුස් වහන්සේ අල්ලාගත් අයට මඟ පෙන්වා දුන් ජූදස් ගැන ශුද්ධාත්මයාණන් වහන්සේ දාවිත්ගේ මුඛයෙන් ප්‍රකාශ කළ ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ විය යුතු ව තිබිණි. මන්ද, ඔහු අප සමඟ ගණන්ගනු ලැබ, මේ සේවයෙහි තමාට හිමි කොටස ලැබී ය. මේ මිනිසා, සිය ද්‍රෝහිකමෙන් ලත් මුදලින් ඉඩමක් මිලයට ගත්තේ ය. ඔහු එහි මුණින් වැටී, මැදින් පැළුණේ ය. ඔහුගේ බඩවැල් සියල්ල පිටතට වීසි විය. ජෙරුසලම් වැසි සියල්ලන්ට එය සැළ විය. එබැවින් ඔව්හු ඒ ඉඩමට ඔවුන්ගේ බසින් ‘ලේ බිම’ යන අරුත ඇති ‘අකෙල්දෙමා’ යයි කී හ. මන්ද යත්: ‘ඔහුගේ වාසස්ථානය පාළු වේ වා! කිසිවෙක් එහි වාසය නොකෙරෙත් වා!’ කියා ද, ‘ඔහුගේ තනතුර වෙන කෙනෙක් ගනිත් වා!’ කියා ද ගීතාවලියේ ලියා තිබේ. එබැවින් ජේසුස් වහන්සේගේ පුනරුජ්ජීවනය පිළිබඳ ව අප සමඟ සාක්ෂි දරන පිණිස යම් කිසිවෙකු අපට එක් විය යුතු ව තිබේ. ජොහන් බව්තීස්ම-ස්නාපනය පටන්ගත් දා සිට, ජේසුස් සමිඳාණන් වහන්සේ අප කෙරෙන් ඔසවාගනු ලැබූ දින දක්වා, උන් වහන්සේ අප අතර ආ ගිය මුළු කාලය තුළ, ඔහු නිතර ම අප සමඟ සිටි අයගෙන් එක් කෙනෙකු විය යුතු ය.” එබැවින් ඔව්හු දෙදෙනෙකු ඉදිරිපත් කළහ. ඒ යුස්තස් යන තවත් නමක් දැරූ බාර්සබස් නමින් හඳුන්වනු ලැබූ ජෝසෙප් සහ මතියස් යන දෙදෙනා ය. ඉන්පසු ඔව්හු යාච්ඤා කරමින්, “සියලු මිනිසුන්ගේ සිත් දන්නා වූ ස්වාමීනි, තමාට නියම ස්ථානයට යන පිණිස ජූදස් විසින් අත්හරින ලද මේ සේවයේත් අපෝස්තුළුවරයේත් පුරප්පාඩුව පිරවීමට මොවුන් දෙදෙනාගෙන් ඔබ වහන්සේ තෝරාගත් තැනැත්තා කවරෙක් දැ යි පෙන්නුව මැනවැ”යි කී හ.