2 තෙසලෝනික 2:9-17
2 තෙසලෝනික 2:9-17 SNRV
නොපනත්කමේ මනුෂ්‍යයා සාතන්ගේ බලයෙන් යුක්ත ව පැමිණ, සියලු ආකාර ව්‍යාජ ප්‍රාතිහාර්ය ද අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද කරන්නේ ය. විනාශයට නියම වූ අය, ගැළවීම අත්කර දෙන සත්‍යය ප්‍රේමයෙන් නොපිළිගත් බැවින්, දුෂ්ට ලෙස රවටනු ලබන්නෝ ය. ඔවුන් අසත්‍ය දේ විශ්වාස කරන පිණිස, ඔවුන් තුළ ක්‍රියා කිරීමට දෙවියන් වහන්සේ මුළාවේ බලය එවන සේක. මෙසේ, සත්‍යය විශ්වාස නොකොට පාපයට ප්‍රිය කරන සියලු දෙන විනිශ්චය කරනු ලබති. සමිඳාණන් වහන්සේගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, අප නිතර ම ඔබ ගැන දෙවියන් වහන්සේට තුති පිදිය යුතු ය. මන්ද, ආත්මයාණන් විසින් ඔබ පිරිසිදු කරනු ලැබීමත්, සත්‍යය විශ්වාස කිරීමත් කරණකොටගෙන ඔබ ගැළවෙන පිණිස, දෙවියන් වහන්සේ ආරම්භයේ සිට ම ඔබ තෝරාගත් නිසා ය. එසේ දෙවියන් වහන්සේ ඔබ කැඳෙව්වේ අප ඔබ වෙතට ගෙනා සුබ අස්න මඟින් ය. ඒ කැඳවීම ඔබ ලැබුවේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මහිමයට ඔබ පංගුකාරයන් වන පිණිස ය. එබැවින් සහෝදරවරුනි; ස්ථිර ව සිට, අපගේ දේශනා කිරීමෙන් හෝ අපගේ හසුනින් හෝ අප ඔබට ඉගැන්වූ සත්‍යයන් හොඳින් සිතට ගන්න. අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද, අපට ප්‍රේම කොට සදාතන ධෛර්යයත්, යහපත් බලාපොරොත්තුවත්, වරප්‍රසාදයත් මඟින් අපට දුන් අපගේ දෙවි පියාණන් වහන්සේ ද ඔබගේ සිත් ධෛර්යවත් කර, සියලු යහපත් දේ කීමට ද කිරීමට ද ඔබ ශක්තිමත් කරන සේක් වා!

