2 සාමුවෙල් 6:14-23

2 සාමුවෙල් 6:14-23 SNRV

දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේ ය. මෙසේ දාවිත් සහ මුළු ඉශ්රායෙල් වංශය ඔල්වර ශබ්දයත්, හොරණෑ ශබ්දයත් ඇති ව සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාහ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට පැමිණි කල සාවුල්ගේ දුව වන මීකල් කවුළුවෙන් බලා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනු දැක ඇගේ සිතින් ඔහු හෙළා දැක්කා ය. ඔව්හු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇතුළට ගෙනවුත්, දාවිත් ඊට පිහිටුවා තිබුණු කූඩාරම මධ්‍යයෙහි ඊට නියම ස්ථානයෙහි, එය තැබූ හ. දාවිත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කෙළේ ය. දාවිත් දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කර නිම කළ පසු සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කෙළේ ය. තවද, ඔහු මුළු සෙනඟට එනම්, ඉශ්රායෙල් සමූහයාගෙන් එක එක පුරුෂයාට හා ස්ත්‍රියට රොටියකුත්, මස් කැබැල්ලකුත්, වියළි මුද්‍රික කැටියකුත් දුන්නේ ය. එවිට මුළු සෙනඟ තම තමන්ගේ නිවෙස්වලට යන්නට ගියහ. දාවිත් ද තමන්ගේ ගෙවැසියන්ට ආශීර්වාද කරන පිණිස හැරී ගියේ ය. සාවුල්ගේ දුව වන මීකල් දාවිත්ගේ පෙරමඟට අවුත් කතා කොට, “කමකට නැති කෙනෙකු විලි ලජ්ජා නැති ව තමාගේ ඇඳුම් ගලවා දමන්නා සේ අද සිය මෙහෙකරුවන්ගේ දාසීන් ඉදිරියෙහි තමාගේ ඇඳුම් ගලවා දැමූ ඉශ්රායෙල් රජතුමා අද තේජවන්ත වී සිටින හැටි පුදුම ය”යි කීවා ය. දාවිත් මීකල්ට කතා කොට, “එසේ කරන ලද්දේ, සිය සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට පත් කරන පිණිස ඔබේ පියාත්, ඔහුගේ මුළු වංශයත් පහ කොට මා තෝරාගත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ය. ඒ නිසා මම සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නටන්නෙමි. මම ඊටත් වඩා නීච ව මාගේ ම ඇස් හමුයෙහි පහත් වන්නෙමි, එහෙත්, ඔබ කී දාසීන්ගෙන් නම් ගෞරව ලබන්නෙමි”යි කීවේ ය. එබැවින් සාවුල්ගේ දුව වන මීකල්ට මැරෙන තුරු දරුවෙක් නො‍ලැබුණේ ය.

මෙයට අදාළ වීඩියෝ

2 සාමුවෙල් 6:14-23 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය