2 සාමුවෙල් 23:8-23

2 සාමුවෙල් 23:8-23 SNRV

දාවිත් රජුට සිටි වීරයන්ගේ නාම මේවා ය: අධිපතීන්ට ප්‍රධාන වූ තාකෙමොනිය ජොෂෙබ්-බෂ්ෂෙබෙත් ය; අධිපතීන් තුන්දෙනාගේ ප්‍රධානියා වූ ඔහු එක් වතාවක දී අටසියදෙනෙකුට විරුද්ධ ව තමාගේ හෙල්ලය ලෙළවා ඔවුන් මැරුවේ ය. ඊළඟට අහෝහිය දෝදෝගේ පුත් එලෙයාසර් ය; ඔහු පිලිස්තිවරුන් යුද්ධයට රැස් ව සිටිය දී, ඉශ්රායෙල් සෙනඟ පසු බැස ගිය විට, ඒ ස්ථානයෙහි දාවිත් රජු සමඟ සිට ඔවුන්ට අභියෝග කළ බලවන්තයන් තුන්දෙනාගෙන් දෙවැන්නා ය. ඔහු නැඟිට තමාගේ අත හිරි වැටී, අත කඩුවට ඇළෙන තුරු පිලිස්තිවරුන්ට පහර දුන්නේ ය. සමිඳාණන් වහන්සේ එදා ඉමහත් ජයක් සලසා දුන් සේක. සෙනඟ ද කොල්ලය ගන්නට පමණක් ඔහු පස්සේ ගියහ. ඊළඟට, හාරාරීය අගීගේ පුත් ෂම්මා ය. පිලිස්තිවරු කොල්ලු පිරී තිබුණු ලෙහි නම් බිම් කොටසක එක්රැස් ව සිටියෝ ය; සෙනඟ ද පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගියහ. එහෙත්, ඔහු බිම් කොටස මැද සිට එය බේරාගෙන පිලිස්තිවරුන් මැරුවේ ය. සමිඳාණන් වහන්සේ ඉමහත් ජයක් සලසා දුන් සේක. ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් ගොයම් කපන කාලයේ දී දාවිත් සිටි අදුල්ලම් ගුහාවට ගියහ. පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපායිම් මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියහ. දාවිත් එවකට බලකොටුවෙහි සිටියේ ය. පිලිස්තිවරුන්ගේ හමුදාව එවකට බෙත්ලෙහෙම්හි සිටියහ. දාවිත්, තද පිපාසාවක් ඇති ව, “අනේ, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳේ වතුර ටිකක් කවුරුත් ගෙනවුත් මට බොන්නට දෙන්නේ නම් යහපතැ”යි කීවේ ය. එවිට ඒ වීරයන් තිදෙනා පිලිස්තිවරුන්ගේ කඳවුර මැදින් කඩා බිඳගෙන ගොස්, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් වතුර ඇද දාවිත් වෙත ගෙනාහ. එහෙත්, ඔහු එය නො‍බී, සමිඳාණන් වහන්සේට පානීය පූජාවක් ඔප්පු කොට, “සමිඳාණන් වහන්ස, මෙය බීමෙන් මා වැළැක්වුව මැනව. මේ වනාහි, සිය දිවි නො‍තකා ඉදිරියට ගිය මිනිසුන්ගේ ලේ ය”යි කී ය. ඒ නිසා ඔහු ඒ වතුර නො‍බීවේ ය. ඒ වීරයන්ගේ බලවත් ක්‍රියා එසේ ය. ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර වූ අබිෂයි තුන්දෙනාගේ ප්‍රධානියා විය. ඔහු සිය හෙල්ලය තුන්සියදෙනෙකුට විරුද්ධ ව ලෙළවා ඔවුන් මරා තුන්දෙනා අතරේ නම ගිය කෙනෙක් විය. තුන්දෙනා අතරෙන් ඔහු ඉතා කීර්තිමත් තැනැත්තා වෙමින්, ඔවුන්ගේ ප්‍රධානියා විය. එසේ වුවත්, ඔහු පළමු වන තිදෙනා තරම් කීර්තිමත් නො‍ වී ය. බොහෝ වීර ක්‍රියා කළ, කබ්ශෙයෙල් ජාතිකයෙකු වූ ජෙහෝයාදාගේ පුත් බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනා මැරුවේ ය. හිම වැටෙන දවසක දී ඔහු ගොස් වළක් ඇතුළෙහි වූ සිංහයෙකු මැරුවේ ය. ඔහු එඩිතර පෙනුමක් ඇති මිසර ජාතිකයෙකු මැරුවේ ය. ඒ මිසර ජාතිකයාගේ අතේ හෙල්ලයක් තිබිණි; එහෙත්, ඔහු පොල්ලක් ඇතුව මිසර ජාතිකයා ළඟට ගොස් ඔහුගේ අතින් හෙල්ලය උදුරාගෙන ඔහුගේ ම හෙල්ලයෙන් ඔහු මරා දැමී ය. ජෙහෝයාදාගේ පුත් බෙනායා මේ දේවල් කොට වීරයන් තුන්දෙනා අතර කීර්තියක් ලැබී ය. ඔහු සෙසු තිස්දෙනාට වඩා කීර්තිමත් කෙනෙක් විය; එහෙත්, පළමු වන තිදෙනා තරම් කීර්තිමත් නො‍ වී ය. දාවිත් රජ ඔහු තමාගේ මුර හේවායන්ගේ අධිපතියා කෙළේ ය.