2 සාමුවෙල් 16:5-14

2 සාමුවෙල් 16:5-14 SNRV

දාවිත් බහුරීම් නගරයට පැමිණි කල, සාවුල්ගේ කුල පරම්පරාවට අයිති වූ ගේරාගේ පුත් ෂිමෙයි නම් මිනිසෙක් එතැනින් පිටත් වී, දෙස් කිය කියා යමින්, දාවිත්ටත්, දාවිත් රජුගේ සියලු සේවකයන්ටත් ගල් ගැසී ය. සියලු සෙනඟ ද සියලු බලවන්තයෝ ද දාවිත්ගේ දකුණු පසෙහි ද වම් පසෙහි ද සිටියෝ ය. ෂිමෙයි දෙස් තබමින්, “මිනීමරුව, දුර්ජනය, පලා යව, පලා යව. සාවුල් වෙනුවට රජ වූ ඔබ පිට, සමිඳාණන් වහන්සේ සාවුල්ගේ පවුලේ සියල්ලන්ගේ ලේ වැගිරීමේ දුර්විපාකය පමුණුවා, ඔබේ පුත් අබ්සලොම්ට රජකම භාර දුන් සේක. ඔන්න, ඔබ විපත්තියට අසු වී සිටින්නෙහි ය. මන්ද, ඔබ මිනීමරුවෙක් ය”යි රජුට කී ය. එවිට ශෙරුයාගේ පුත් අබිෂයි කතා කොට, “මෙවැනි බලු කුණක්, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට දෙස් කියන්නේ මන් ද? ගොස් ඔහුගේ හිස ගසා දමන්නට මට අවසර ලැබේවා”යි කී ය. රජ ද පිළිතුරු දෙමින්, “ශෙරුයාගේ පුත්‍රයෙනි, මෙය මට වත්, ඔබට වත් අයිති වැඩක් නො‍වේ. ඔහු දෙස් කීවා වේ! ‘දාවිත්ට දෙස් කියාපන්නැ’යි ඔහුට කීවේ සමිඳාණන් වහන්සේ නම්, ‘ඔබ මෙසේ කෙළේ මන්දැ’යි කියන්නට පුළුවන් කවරෙකුට දැ”යි ඇසී ය. තවද, දාවිත් රජ අබිෂයිටත්, තමාගේ සියලු සේවකයන්ටත් කතා කොට, “බලන්න, මට දාව උපන් මාගේ ම පුත්‍රයා මා නසන්නට සොයන්නේ නම්, ඊට කොපමණ වැඩියෙන් මේ බෙන්ජමින් ජාතිකයාට දැන් එසේ කරන්නට බැරි ද? ඔහු නිකම් සිටියා වේ, දෙස් කීවා වේ; මන්ද, එලෙස කරන්නට සමිඳාණන් වහන්සේ වදාළ සේක. සමහර විට මට කරන ලද අයුක්තිය දෙස සමිඳාණන් වහන්සේ බලා, අද දවසේ ඔහුගේ දෙස් කීම වෙනුවට මට යහපත කරනු ඇතැ”යි කී ය. මෙසේ දාවිත් හා ඔහුගේ මිනිසුන් මාර්ගයේ යද්දී, ෂිමෙයි ඔහුට ඉදිරිපිටින් කන්දේ පැත්තකින් යනුයේ, දෙස් කියමින් ද ඔහුට ගල් ගසමින් ද පස් විසි කරමින් ද ගියේ ය. රජ ද තමා ළඟ සිටි සියලු සෙනඟ ද වෙහෙස ව ජොර්දාන් ගඟ ළඟට අවුත් එහි විඩා සංසිඳුවා ගත්තෝ ය.

මෙයට අදාළ වීඩියෝ

2 සාමුවෙල් 16:5-14 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය