2 සාමුවෙල් 15:1-17
2 සාමුවෙල් 15:1-17 SNRV
අබ්සලොම් රථයක් ද අශ්වයන් ද තමාට පෙරටුවෙන් දුවන්නට මිනිසුන් පනස්දෙනෙකු ද සූදානම් කර ගත්තේ ය. තවද, අබ්සලොම් අලුයම නැඟිට දොරටුවට යන මාර්ගය අයිනේ සිටිමින්, විනිශ්චය පිණිස නඩුවක් ඇති යම් මිනිසෙකු පැමිණි විට, ඔහුට අඬගසා, “ඔබ කුමන නගරයට අයිති දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ඔබේ මෙහෙකරුවා අසවල් ඉශ්රායෙල් ගෝත්‍රයට අයිති ය”යි කී විට, අබ්සලොම් ඔහු අමතා, “බලන්න, ඔබේ පැමිණිල්ල හොඳ ය. සාධාරණ ය. එහෙත්, ඔබේ ඒ පැමිණිල්ල අසන පිණිස රජු විසින් පත් කරන ලද කෙනෙක් නැතැ”යි කීවේ ය. ඇරත්, “දේශයේ විනිශ්චයකාරයා වශයෙන් මම පත් කරනු ලබම් නම්, නඩුවක් හෝ පැමිණිල්ලක් හෝ ඇති කෙනෙකු මා වෙත ආ කල්හි මම ඔහුට යුක්තිය ඉටු කර දෙන්නෙමි”යි ද අබ්සලොම් කී ය. යමෙකු ඔහුට වඳින්නට ළං වූ කල ඔහු තමාගේ අත දිගු කොට ඔහු අල්ලා සිඹගත්තේ ය. විනිශ්චය පිණිස රජු ළඟට පැමිණි සියලු ඉශ්රායෙල්වරුන්ට අබ්සලොම් මෙලෙස කර ඔවුන්ගේ සිත් දිනාගත්තේ ය. තවද, සතර අවුරුද්දකට පසු අබ්සලොම්, රජුට කතා කොට, “මා සමිඳාණන් වහන්සේට වුණ බාරය හෙබ්‍රොන්හි දී ඉෂ්ට කරන පිණිස මට යන්නට අවසර දුන මැනව. මන්ද, ඔබේ මෙහෙකරුවා සිරියේ ගෙෂූර්හි සිටිය දී, ‘සමිඳාණන් වහන්සේ සැබැවින් ම මා නැවත ජෙරුසලමට පමුණුවන්නට යෙදුණොත්, මම සමිඳාණන් වහන්සේට සේවය කරන්නෙමි’යි බාරයක් වුණෙමි”යි කී ය. “සාමදානයෙන් යන්නැ”යි රජ ඔහුට කී ය. ඔහු නැඟිට හෙබ්‍රොන් නගරයට ගියේ ය. එහෙත්, අබ්සලොම් ඉශ්රායෙල් ගෝත්‍රයන් අතරෙහි ඔත්තුකාරයන් යවා, “ඔබට හොරණෑ ශබ්දය ඇසුණ කෙණෙහි ම, ‘අබ්සලොම් හෙබ්‍රොන්හි රජ වී සිටී ය’යි කියන්නැ”යි දන්වන්නට කී ය. තවද, කැඳවන ලද මිනිස්සු දෙසියයක් අබ්සලොම් සමඟ ජෙරුසලමට ගියහ. ඔව්හු කිසිවක් නොදැන, අවංක සිතින් ගියහ. අබ්සලොම් පූජා ඔප්පු කරන අතර දාවිත්ගේ මන්ත්‍රීවරයෙකු ද ගිලොන් වැසියෙකු ද වන අහිතොපෙල් ඔහුගේ නගරය වූ ගිලොයෙන් ගෙන්වා ගත්තේ ය. මෙසේ කුමන්ත්‍රණය බලවත් වී සෙනඟ වඩ වඩා අබ්සලොම්ට එකතු වූ හ. පණිවුඩකාරයෙක් දාවිත් කරා පැමිණ, “ඉශ්රායෙල් මිනිසුන්ගේ සිත් අබ්සලොම් දෙසට ඇදී ගොස් ඇතැ”යි කී ය. එවිට දාවිත් ජෙරුසලමේ තමා සමඟ සිටි තමාගේ සියලු සේවකයන්ට කතා කොට, “අපි පිටත් ව පලා යමු. නැතහොත් අපෙන් කිසිවෙක් අබ්සලොම්ගෙන් බේරෙන්නේ නැත. ඔහු වහා ම අප කරා පැමිණ, අප පිට අනතුරු පමුණුවා, කඩුවෙන් නගරයට පහර නොදෙන පිණිස පිට වී යන්නට ඉක්මන් කරන්නැ”යි කී ය. රජුගේ සේවකයෝ රජුට කතා කොට, “අපේ ස්වාමීන් වන රජ්ජුරුවන් නියම කරන කවර දෙයක් වුව ද කරන්නට ඔබේ සේවකයෝ සැරසී සිටිති”යි කී හ. එවිට රජ ද ඔහු අනුව ඔහුගේ ගෙයි වැසි සියල්ලෝ ද පිටත් ව ගියහ. රජ තෙමේ රාජ මාලිගාව බලාගැනීමට උපභාර්යාවන් දසදෙනෙකු නතර කොට පලා ගියේ ය. මෙසේ රජ ද ඔහු සමඟ සියලු සෙනඟ ද පිටත් ව ගොස්, නගර සීමාවේ අන්තිම ගෙදර නැවතුණාහ.

