2 සාමුවෙල් 12:5-13

2 සාමුවෙල් 12:5-13 SNRV

ඒ ඇසූ දාවිත්ගේ කෝපය ඒ මිනිසාට විරුද්ධ ව තදින් ඇවිළී, ඔහු නාතාන්ට කතා කොට, “මේ දේ කළ මිනිසා මැරුම් කෑ යුතු ය කියා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි. ඔහු මේ ක්‍රියාව කළ බැවින් ද අනුකම්පාව නො‍දැක්වූ බැවින් ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙකු දිය යුතු ය”යි කී ය. එවිට නාතාන් දාවිත්ට මෙසේ කීවේ ය: “ඒ මිනිසා ඔබ තමයි; එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹ ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කර, මම ම නුඹ සාවුල් අතින් ගළවා ගතිමි. මම නුඹේ ස්වාමියාගේ වංශය ද ඔහුගේ භාර්යාවන් ද නුඹට ම දිනිමි. ඉශ්රායෙල් හා ජුදා වංශයත් නුඹට දිනිමි. මෙය නුඹට ප්‍රමාණවත් නොවන්නේ නම්, මෙවැනි තවත් දේ මම නුඹට දෙන්නෙමි. නුඹ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කිරීමෙන් උන් වහන්සේගේ වචනය සුළු කොට සිතුවේ කුමක් නිසා ද? නුඹ හිත්තීය ජාතික උරියා කඩුවෙන් නසා, ඔහුගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත්තෙහි ය. නුඹ අම්මොන්වරුන් ලවා ඔහු කඩුවෙන් මැරෙව්වෙහි ය. ඉතින් මා සුළු කොට සිතා, හිත්තීය ජාතික උරියාගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත් බැවින් කඩු පහර කිසි කලක නුඹේ වංශයෙන් පහ නොවන්නේ ය.’ සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹට විරුද්ධ ව නුඹේ ම පවුලෙන් විපත්තිය උපදවා, නුඹේ ඇස් ඉදිරියෙහි නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වැසියෙකුට දෙන්නෙමි. ඔහු එළිමහනෙහි නුඹේ භාර්යාවන් සමඟ සේවනයේ යෙදෙන්නේ ය. නුඹ කළ දේ නුඹ කෙළේ රහසින් ය; එහෙත්, මම මේ දේ සියලු ඉශ්රායෙල්වරුන්ට පෙනෙන ලෙස දවල් කාලයේ කරන්නට සලස්වන්නෙමි.’ එවිට දාවිත් පිළිතුරු දෙමින්, “මම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමි”යි නාතාන්ට කී ය. නාතාන් ද කතා කරමින්, “සමිඳාණන් වහන්සේ ඔබේ පාපයට ක්ෂමාව දුන් සේක; ඔබ නො‍නසින්නෙහි ය

මෙයට අදාළ වීඩියෝ

2 සාමුවෙල් 12:5-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය