2 රාජාවලිය 6:8-22
2 රාජාවලිය 6:8-22 SNRV
සිරියාවේ රජ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන විට තමාගේ සේවකයන් සමඟ මන්ත්‍රණය කරමින්, “අසවල්, අසවල් තැන මාගේ කඳවුරු විය යුතු ය”යි කී ය. දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ද, “සිරියන්වරුන් අසවල් තැනට බැස එන නිසා ඒ ළඟින් නොයන හැටියට බලාගත මැනව”යි ඉශ්රායෙල් රජුට දන්වමින් අනතුරු ඇඟවී ය. දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා දැනුම් දුන් ස්ථානයට ඉශ්රායෙල් රජ මිනිසුන් යැවී ය. ඔහු ද රජුට අනතුරු ඇඟ වූ බැවින් රජ ද පරීක්ෂාකාරී ව සිටියේ ය. එසේ වූයේ වරක් දෙවරක් නොව, බොහෝ වාරයක් ය. මේ කාරණය ගැන සිරියාවේ රජුගේ සිත කැළඹී ඔහු තමාගේ සේවකයන් කැඳවා, “අපෙන් ඉශ්රායෙල් රජුගේ පක්ෂයට සිටින්නේ කවරෙක් ද කියා ඔබ මට දන්වන්නේ නැද් දැ?”යි ඇසී ය. ඔහුගේ සේවකයන්ගෙන් එක් කෙනෙක් කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමනි, එසේ නොවේ. ඔබේ යහන් ගබඩාවේ දී ඔබ කියන වචන ඉශ්රායෙල්හි දිවැසිවරයා වන එලිෂා, ඉශ්රායෙල් රජුට දන්වන්නේ ය”යි කීවේ ය. එවිට ඔහු කතා කොට, “මා විසින් ඔහු අල්ලාගනු ලබන පිණිස ඔහු කොතැන ද කියා ඔබ ගොස් බලන්නැ”යි කී ය. “ඔහු දොතාන්හි සිටින්නේ ය”යි ඔහුට දන්වන ලදී. එබැවින් ඔහු අශ්වයන් ද රථ ද විශාල හමුදාවක් ද එහි යැවී ය. ඔව්හු රාත්‍රියේ අවුත් නුවර වටලාගත්තෝ ය. එලිෂාගේ සේවකයා අලුයම නැඟිට පිටතට ගිය කල හමුදාවක්, අශ්වයන් හා රථ ඇති ව නුවර වටේට සිටිනු දුටුවේ ය. එවිට ඔහු, “අහෝ! ස්වාමීනි, අපි කුමක් කරමු දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද කතා කොට, “බිය නොවන්න. මන්ද, ඔවුන් සමඟ සිටින අයට වඩා අප සමඟ සිටින අය බොහෝ ය”යි කීවේ ය. එවිට එලිෂා යාච්ඤා කොට, “සමිඳාණන් වහන්ස, ඔහුට පෙනෙන පිණිස ඔහුගේ ඇස් පැහැදුව මැනවැ”යි කී ය. සමිඳාණන් වහන්සේ සේවකයාගේ ඇස් පැහැදූ සේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන් ද ගිනි රථවලින් ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේ ය. ඔවුන් එලිෂා ළඟට ගිය කල ඔහු, “මේ සෙනඟ අන්ධ කළ මැනවැ”යි සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ එලිෂාගේ ඉල්ලීම ලෙස ඔවුන් අන්ධ කළ සේක. එවිට එලිෂා ඔවුන්ට කතා කොට, “ඒ පාර මෙය නොවේ. ඒ නුවරත් මෙය නොවේ. මා පසුපස එන්න, ඔබ සොයන මනුෂ්‍යයා ළඟට මම ඔබ ගෙනයන්නෙමි”යි ඔවුන් සමාරියට ගෙන ගියේ ය. තවද ඔවුන් සමාරියට පැමිණි විට එලිෂා කතා කොට, “සමිඳාණන් වහන්ස, පෙනෙන පිණිස මොවුන්ගේ ඇස් පැහැදුව මැනවැ”යි කී ය. සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ ඇස් පැහැදූ සේක. ඔව්හු බැලූ විට තමන් සමාරිය මැද සිටින බව දුටුවෝ ය. ඉශ්රායෙල් රජු ඔවුන් දැක, “මාගේ පියාණෙනි, ඔවුන්ට පහර දෙම් ද? පහර දෙම් දැ”යි එලිෂාගෙන් ඇසී ය. ඔහු, “ඔබ ඔවුන්ට පහර නොදිය යුතු ය. ඔබේ කඩුවෙන් ද ඔබේ දුන්නෙන් ද අල්ලාගත් තැනැත්තන්ට ඔබ පහර දෙන්නෙහි ද? ඔවුන් කා බී තමන්ගේ ස්වාමියා ළඟට යන පිණිස ඔවුන්ට කෑම ද වතුර ද දෙන්නැ”යි කී ය.

