2 රාජාවලිය 21:3-9

2 රාජාවලිය 21:3-9 SNRV

තමාගේ පිය වූ හෙසකියා නැති කළ ගිරිකුළු දේවාල ඔහු නැවත ගොඩනඟා, බාල් දෙවියාට පූජාසන තනා, ඉශ්රායෙල්හි රජ වූ ආහාබ් සෑදූ පරිදි අෂේරා කප් කණු ද සෑදුවේ ය. ඔහු ආකාශ වස්තූන් සියල්ලට නමස්කාර කරමින් ඒවාට සේවය කෙළේ ය. තවද, ‘මාගේ නාමය ජෙරුසලමෙහි තබන්නෙමි’යි සමිඳාණන් වහන්සේ යම් මාලිගාවක් ගැන වදාළ සේක් ද ඒ මාලිගාවෙහි ඔහු පූජාසන ගොඩනැඟුවේ ය. සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මළු දෙකෙහි මුළු ආකාශ වස්තූන්ටත් පූජාසන ගොඩනැඟුවේ ය. ඔහු තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජා කෙළේ ය. මායම් හා ශාස්ත්‍ර බැලීම් ද භාවිතා කරමින් ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද පත් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේ කෝප කරවන හැටියට උන් වහන්සේගේ ඇස් හමුයෙහි බොහෝ නපුරු දේ කෙළේ ය. තමා සෑදූ අෂේරා කප් කණු හා රූප ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තැබී ය. ඒ මාලිගාව ගැන සමිඳාණන් වහන්සේ දාවිත්ටත්, ඔහුගේ පුත් සලමොන්ටත් කතා කොට, “මේ මාලිගාවෙහි ද මා විසින් සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් තෝරාගනු ලැබූ ජෙරුසලමේ ද මාගේ නාමය සදහට ම තබන්නෙමි. මා විසින් ඉශ්රායෙල්වරුන්ට අණ කරන ලද සියල්ල ප්‍රකාරයට ද මාගේ සේවක මෝසෙස් ඔවුන්ට අණ කළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාරයට ද කරන්නට ඔවුන් බලාගත්තොත්, ඔවුන්ගේ පියවරුන්ට මා විසින් දෙන ලද දේශයෙන් ඔවුන්ගේ පාද තවත් මුළා ව යන්නට නොසලස්වන්නෙමි”යි වදාළ සේක. එහෙත්, ඔව්හු ඇහුම්කන් නුදුන්නෝ ය. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් විනාශ කළා වූ විජාතීන්ට වඩා නපුරුකම් කරන ලෙස මනස්සේ ඔවුන් මුළා කෙළේ ය.