2 රාජාවලිය 17:5-29

2 රාජාවලිය 17:5-29 SNRV

එවිට අසිරියාවේ රජ දේශය මුළුල්ලෙහි ගොස් සමාරියට පැමිණ, තුන් අවුරුද්දක් එය වටලාගෙන සිටියේ ය. තවද, හෝෂෙයාගේ නව වන අවුරුද්දේ අසිරියාවේ රජ සමාරිය අල්ලාගෙන ඉශ්රායෙල්වරුන් අසිරියාවට ගෙන ගොස් හලාහි ද ගෝශාන් ගංගාව වන හාබොර් ළඟ ද මේදවරුන්ගේ නුවරවල ද පදිංචි කරවී ය. එසේ වූයේ, ඉශ්රායෙල් ජනයා පාරාවෝ රජුගේ බලයෙන් නිදහස් කොට මිසර දේශයෙන් ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කරමින් වෙන දෙවිවරුන්ට බිය ව, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් පන්නාදැමූ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව ද හැසුරුණු නිසා ය. තවද, ඉශ්රායෙල් ජනයා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අයුතු දේවල් රහසින් කරමින්, මුරකාරයන්ගේ කොටු පටන් පවුරු ඇති නගර දක්වා තමන්ගේ හැම නගරයක ගිරිකුළු දේවාල සාදාගෙන, උස් වූ සියලු හෙල් පිට ද සියලු අතු පතර ඇති විශාල ගස් යට ද රූපස්තම්භ සහ අෂේරා කප් කණු පිහිටුවාගෙන, ඔවුන් ඉදිරියෙන් සමිඳාණන් වහන්සේ ගෙන ගිය විජාතීන් කළ පරිදි ඒ සියලු ගිරිකුළු දේවාලවල සුවඳ දුම් ඔප්පු කළෝ ය. සමිඳාණන් වහන්සේ උදහස් කරන අන්දමේ නපුරු දේවල් ද කළෝ ය. ‘රූපවලට වැඳුම්පිදුම් නොකරන්නැ’යි සමිඳාණන් වහන්සේ ඔවුන්ට වදාළ නමුත් ඔව්හු ඒ දේ කළෝ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු දිවැසිවරුන් ද දර්ශකයන් ද ලවා ඉශ්රායෙල්වරුන්ටත්, ජුදාවරුන්ටත් අවවාද කරමින්, “නුඹලාගේ නපුරු මාර්ගවලින් ඉවත් වී, නුඹලාගේ පියවරුන්ට මා අණ කළ, මාගේ සේවකයන් වන දිවැසිවරුන් අත නුඹලාට එවූ මාගේ මුළු ව්‍යවස්ථාව අනුව මාගේ ආඥා පවත්වන්නැ”යි වදාළ සේක. එහෙත්, ඔව්හු සවන් නො දී, තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ නොඇදහු ඔවුන්ගේ පියවරුන් මුරණ්ඩු වූ ලෙස තමන්ගේ මුරණ්ඩුකම් වැඩිකරගෙන, උන් වහන්සේගේ පනත් ද ඔවුන්ගේ පියවරුන් සමඟ කළ උන් වහන්සේගේ ගිවිසුම ද ඔවුන්ට උන් වහන්සේ දුන් උන් වහන්සේගේ අවවාද ද එපා කර, වැදගැම්මක් නැති නිෂ්ඵල රූපවලට නමස්කාර කොට, වැදගැම්මක් නැති අය වෙමින් ඔවුන් වටකර සිටි විජාතීන් මෙන් නොකරන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ට අණ කළ නමුත්, ඒ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව හැසුරුණෝ ය. ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා අත්හැර, වාත්තු කළ පිළිම වන වස්සන් දෙදෙනෙකු ද අෂේරා කප් කණු ද සාදා ගෙන ආකාශ වස්තූන් සියල්ලට නමස්කාර කරමින්, බාල් දෙවියාට සේවය කළෝ ය. ඔව්හු තමන්ගේ පුත්‍රයන් ද දූවරුන් ද ගිනි මැදින් යවා පූජා කළෝ ය. පේන කීම ද ශාස්ත්‍ර බැලීම ද භාවිතා කළෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ උදහස් කරවන ලෙස උන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කිරීමට ද භාර වූ හ. ඒ නිසා සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඉතා උදහස් වී තමන්ගේ ඇස් හමුයෙන් ඔවුන් පහකළ සේක. ඉතිරි වූයේ ජුදා ගෝත්‍රය පමණකි. ජුදාවරුත් තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා රක්ෂා නොකොට, ඉශ්රායෙල්වරුන් සාදාගත් පනත් ලෙස හැසුරුණෝ ය. සමිඳාණන් වහන්සේ ද මුළු ඉශ්රායෙල් වංශය අත්හැර ඔවුන්ට පීඩා කොට ඔවුන් තමන්ගේ ඇස් හමුයෙන් ඉවත්කර දමන තුරු කොල්ලකාරයන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක. එසේ වූයේ, උන් වහන්සේ ඉශ්රායෙල්වරුන් දාවිත්ගේ වංශයෙන් වෙන් කළ බැවින් ඔව්හු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් රජ කොට පත් කරගත්තෝ ය. ජෙරොබෝවම් සමිඳාණන් වහන්සේ වෙතින් ඉශ්රායෙල්වරුන් බැහැර කොට ඔවුන් බරපතල පාපයන්ට පෙළඹී ය. මෙසේ සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු මෙහෙකරුවන් දිවැසිවරුන් ලවා කියෙවූ ලෙස ඉශ්රායෙල් ජනයා තමන්ගේ ඇස් හමුයෙන් පහකරන තෙක්, ඔව්හු ජෙරොබෝවම් කළ සියලු ම පාපවලින් ඉවත් නොවී, ඒවායෙහි හැසුරුණෝ ය. මෙසේ ඉශ්රායෙල්වරු තමන්ගේ දේශයෙන් අසිරියාවට ගෙනයන ලදුව අද දක්වා එහි සිටිති. අසිරියාවේ රජ බබිලෝනියෙන් ද කුතාවෙන් ද අව්වායෙන් ද හමාතෙන් ද සෙපර්වයිමෙන් ද මිනිසුන් ගෙනවුත්, ඉශ්රායෙල් ජනයා වෙනුවට සමාරියේ නගරවල පදිංචි කරවී ය. ඔව්හු සමාරිය හිමි කරගෙන එහි නගරවල වාසය කළෝ ය. ඔව්හු එහි වාසය කරන්න පටන්ගන්න කල සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව නොසිටියෝ ය. එබැවින් සමිඳාණන් වහන්සේ ඔවුන් අතරට සිංහයන් යැවූ සේක. ඒ සත්තු ඔවුන්ගෙන් සමහර දෙනෙකුන් මැරූ හ. එබැවින් ඔව්හු අසිරියාවේ රජුට කතා කොට, “ඔබ ගෙනවුත් සමාරියේ නුවරවල පදිංචි කරවූ ජාතීහු ඒ දේශයේ දෙවියන් නමදින අන්දම නොදනිති. ඒ නිසා උන් වහන්සේ ඔවුන් අතරට සිංහයන් එවූ සේක. ඔවුන් දේශයේ දෙවියන් නමදින අන්දම නොදන්න නිසා සිංහයෝ ඔවුන් මරති”යි කී හ. එවිට අසිරියාවේ රජ අණ කරමින්, “ඔබ එතැනින් ගෙනා පූජකයන්ගෙන් එක් කෙනෙකු එහි කැඳවාගෙන යන්න. ඔහු ගොස් එහි වාසය කරමින් ඒ දේශයේ දෙවියන් නමදින අන්දම ඔවුන්ට උගන්වා දේ වා”යි කී ය. මෙසේ ඔවුන් සමාරියෙන් ගෙන ගිය පූජකයන්ගෙන් එක් කෙනෙක් අවුත් බෙතෙල්හි වාසය කොට, සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පෑ යුතු අන්දම ඔවුන්ට ඉගැන්වී ය. එසේ වුවත්, ඒ ජාතීහු තම තමන්ගේ දෙවිවරුන් සාදාගෙන, ඒ ජාතීන් විසූ නගරවල තිබූ ගිරිකුළු දේවාලවල ඒවා තැබූ හ.