2 වංශාවලිය 33:9-25

2 වංශාවලිය 33:9-25 SNRV

එහෙත්, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් විනාශ කරදැමූ ජාතීන්ට වඩා නපුරුකම් කරන හැටියට මනස්සේ ජුදාවරුන් ද ජෙරුසලමේ වැසියන් ද මුළා කෙළේ ය. සමිඳාණන් වහන්සේ මනස්සේටත්, ඔහුගේ සෙනඟටත් කතා කළ නමුත් ඔව්හු සවන් නුදුන්නෝ ය. ඒ නිසා සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධ ව එවූ සේක. ඔව්හු මනස්සේ අල්ලා විලංගුවලින් ද දම්වැල්වලින් ද බැඳ බබිලෝනියට ගෙන ගියෝ ය. ඔහු තමාගේ විපතේ දී තම දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කොට, තම පියවරුන්ගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඉතා යටහත් වී, උන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ඔහුට සවන් දී ඔහුගේ කන්නලව්ව අසා ජෙරුසලමටත්, ඔහුගේ රාජ්‍යයටත් නැවත ඔහු පැමිණෙවූ සේක. එවිට සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බව මනස්සේ දැනගත්තේ ය. මින්පසු ඔහු දාවිත්ගේ නුවරින් පිට ගීහොන්ට බස්නාහිරෙන් මිටියාවතෙහි මත්ස්‍ය-දොරටුවෙන් ඇතුළු වන තැන දක්වා ඕපෙල් තාප්පය වටේට ඉතා උසට පවුරක් ගොඩනඟා, ජුදා දේශයෙහි පවුරු ඇති සියලු නගරවල සේනාපතීන් සිටෙව්වේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් අන් දෙවිවරුන් ද පිළිම ද උන් වහන්සේගේ මාලිගාව පිහිටි කන්දෙහිත්, ජෙරුසලමෙහිත් ගොඩනඟා තිබුණු සියලු පූජාසන ද පහකොට ඒවා නගරයෙන් පිටත දැමුවේ ය. තවද, ඔහු සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිහිටුවා, ඒ පිට සහභාගිකමේ පූජා ද ස්තුති පූජා ද ඔප්පු කොට, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න ජුදාවරුන්ට අණ කෙළේ ය. එහෙත්, සෙනඟ ඊට පසුත් ගිරිකුළු දේවාලවල පූජා කළෝ ය. එහෙත්, එසේ කෙළේ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පමණක් ය. මනස්සේගේ අනික් ක්‍රියා ද ඔහු තමාගේ දෙවියන් වහන්සේට ඔප්පු කළ යාච්ඤාව ද ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔහුට කතා කළ දිවැසිවරයාගේ වචන ද ඉශ්රායෙල් රජවරුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයෙහි ලියා තිබේ. ඔහුගේ යාච්ඤාව ද දෙවියන් වහන්සේ ඔහුට ඇහුම්කන් දුන් හැටි ද ඔහුගේ සියලු පාපයන් ද ඔහුගේ ද්‍රෝහිකම් ද ඔහු යටහත් වන්න පළමුවෙන් ඔහු ඉදි කළ කඳු මත පූජාස්ථාන ද අෂේරා කප් කණු සහ කැපූ රූප සිටෙවූ ස්ථාන ද දර්ශකයන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයෙහි ලියා තිබේ. මෙසේ මනස්සේ මියගිය පසු ඔහුගේ ගෙදර සොහොන් ගෙයි ඔහු තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ පුත් ආමොන් ඔහු වෙනුවට රජ විය. ආමොන් විසි අවුරුදු වයසේ දී රජ වී දෑවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහු තමාගේ පිය වූ මනස්සේ කළ පරිදි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරමින්, තමාගේ පිය වූ මනස්සේ සෑදූ සියලු රූපවලට පූජා කොට වැඳුම්පිදුම් කෙළේ ය. ඔහුගේ පිය වූ මනස්සේ යටහත් වුණ ලෙස ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යටහත් නො වී ය. මෙම ආමොන් වඩ වඩා අපරාධ කෙළේ ය. ඔහුගේ සේවකයෝ ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට ඔහුගේ ම රජ මැදුරේ දී ඔහු මැරුවෝ ය. එහෙත්, දේශයේ සෙනඟ ආමොන් රජුට විරුද්ධ ව මන්ත්‍රණය කළ සියල්ලන් මරා ඔහුගේ පුත් ජොෂියා ඔහු වෙනුවට රජකමට පත් කළෝ ය.