2 වංශාවලිය 20:1-19

2 වංශාවලිය 20:1-19 SNRV

මින්පසු මෝවබ්වරු ද අම්මොන්වරු ද ඔවුන් සමඟ මෙයුනිවරුන්ගෙන් සමහරෙක් ද ජෙහෝෂාපාට්ට විරුද්ධ ව යුද්ධයට ආවෝ ය. එවිට සමහරෙක් අවුත්, ජෙහෝෂාපාට්ට කතා කොට, “මුහුද එගොඩින් ඒදොම්හි සිට මහත් සමූහයක් ඔබට විරුද්ධ ව එන්නාහ. ඔව්හු හශශොන්-තාමාර්හි හෙවත් එන්-ගෙදියෙහි සිටිති”යි දැන්වූ හ. එවිට ජෙහෝෂාපාට් බිය වී, සමිඳාණන් වහන්සේට යැදීමට ඉටාගෙන ජුදා මුළුල්ලෙහි උපවාසයක් ප්‍රකාශ කෙළේ ය. සමිඳාණන් වහන්සේගෙන් පිහිට ඉල්ලන පිණිස ජුදාවරු රැස් වූවෝ ය. ජුදාහි සියලු නගරවලින් ඔව්හු සමිඳාණන් වහන්සේට යැදීමට ආවෝ ය. එවිට ජෙහෝෂාපාට් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි අලුත් මළුව ඉදිරිපිට, ජුදා දේශයේ සහ ජෙරුසලමේ සිට රැස් වූ සභාව මැද සිට මෙසේ කීවේ ය: “අපේ පියවරුන්ගේ දෙවි සමිඳුනි, ඔබ ස්වර්ගයෙහි දෙවියන් වහන්සේ නොවන සේක් ද? ජාතීන්ගේ සියලු රාජ්‍යයන් කෙරෙහි ආණ්ඩු කරන්නේත් ඔබ වහන්සේ නොවන සේක් ද? ඔබේ හස්තයේ බලය හා පරාක්‍රමය තිබේ. ඔබට විරුද්ධ ව සිටින්න පුළුවන් කෙනෙකුත් නැත. අපේ දෙවියන් වහන්ස, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ඉදිරිපිටින් ඔබ වහන්සේ ම මේ දේශයේ වැසියන් පන්නා දමා, ඔබේ මිත්‍ර වන ආබ්‍රහම්ගේ වංශයට එය සදහට ම නුදුන් සේක් ද? ඔව්හු මෙහි වාසය කොට, ඔබේ නාමයට මෙහි ශුද්ධස්ථානයක් ගොඩනඟා කතා කොට, ‘අප පිට යම් විපත්තියක් එනම්, යුද්ධයක් හෝ දඬුවමක් හෝ වසංගතයක් හෝ සාගතයක් හෝ පැමිණියොත්, ඔබේ මේ මාලිගාව ඔබේ නාමය දරන නිසා, අපි මේ මාලිගාවෙහි හා ඔබ ඉදිරියෙහි සිට අපේ දුකේ දී ඔබට යාච්ඤා කරන්නෙමු, එවිට ඔබ ඇහුම්කන් දී අප ගළවන සේකැ’යි කීවෝ ය. “බැලුව මැනව, ඉශ්රායෙල්වරුන් මිසරයෙන් ආ කල, අම්මොන්වරුන් සහ මෝවබ්වරුන් ද සේයිර් කඳුකරේ වැසියන් ද අතරට පැමිණෙන්න ඔබ ඔවුන්ට ඉඩ නුදුන් බැවින්, ඔව්හු ඔවුන් විනාශ නොකර ඔවුන් වෙතින් අහක් ව ගියෝ ය. එහෙත්, ඔබ අපට හිමිකර දුන් ඔබේ උරුමයෙන් අප පන්නා දමන්න පැමිණීමෙන් ඔවුන් අපට කළගුණ දැක්වූ හැටි බැලුව මැනව. අපේ දෙවියන් වහන්ස, ඔබ ඔවුන් විනිශ්චය නොකරන සේක් ද? මන්ද, අපට විරුද්ධ ව එන මේ විශාල සෙනඟ ඉදිරියෙහි සිටින්න අපට ශක්තිය නැත: අපි කුමක් කරමු ද කියාත් නොදනිමු. එබැවින්, අපේ ඇස් ඔබ දෙස ම යොමු කර තිබේ.” ජුදා දේශයේ පිරිමි සියල්ලෝ ම තමන්ගේ අත දරුවන් ද භාර්යාවන් ද දරුවන් ද සමඟ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටියෝ ය. එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය සභාව මැද සිටි ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන ලෙවීය මත්තනියාගේ පුත් ජෙයීයෙල්ගේ පුත්‍රයා වන බෙනායාගේ පුත් ශෙකරියාගේ පුත්‍රයා වන ජහසියෙල් මත පහළ විය. ඔහු කතා කොට, “සියලු ජුදාවරුනි, ජෙරුසලම් වැසියෙනි, ජෙහෝෂාපාට් රජතුමෙනි, සවන් දෙන්න. සමිඳාණන් වහන්සේ ඔබ හැමට මෙසේ කියන සේක: ‘මේ විශාල සමූහය නිසා බිය නොවන්න; නොකැළඹෙන්න, මන්ද, මේ යුද්ධය ඔබ සැමගේ නොව දෙවියන් වහන්සේගේ වන බැවිනි. හෙට ඔවුන්ට විරුද්ධ ව යන්න. බලන්න, ඔව්හු ශීශ් නම් බෑවුමෙන් නැඟී එති; ජෙරුයෙල් පාළුකරය ඉදිරිපිට මිටියාවතේ කෙළවර දී ඔව්හු ඔබ සියල්ලන්ට සම්බ වන්නෝ ය. ජුදාවරුනි, ජෙරුසලමේ වැසියෙනි, මේ යුද්ධයේ දී ඔබ සටන් කරන්න ඕනෑ නැත.’ සැරසී නිශ්චල ව සිට සමිඳාණන් වහන්සේ ඔබට දෙන ගැළවීම බලා සිටින්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින නිසා බිය නොවී, නොකැළඹී, හෙට ඔවුන් වෙත පිටත් ව යන්නැ”යි පැවසී ය. එවිට ජෙහෝෂාපාට් බිමට නැමුණේ ය. සියලු ජුදාවරු ද ජෙරුසලමේ වැසියෝ ද සමිඳාණන් වහන්සේට නමස්කාර කරමින් උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටුණෝ ය. කොහාත්වරුන්ගේ පුත්‍රයන් ද කොරාවරුන්ගේ පුත්‍රයන් ද වන ලෙවීවරු ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ඉමහත් හඬකින් ප්‍රශංසා කිරීමට පටන් ගත්හ.