1 තිමෝති 6:8-17

1 තිමෝති 6:8-17 SNRV

කන්නට අඳින්නට ඇත්නම්, අපට සෑහෙයි. ධනවත් වීමට ආශා වන්නෝ පරීක්ෂාවලටත්, උගුල්වලටත්, අසු වන්නෝ ය. නාස්තියටත්, විනාශයටත් පමුණුවන, නොයෙකුත් මෝඩ නිෂ්ඵල තෘෂ්ණාවන්ට ඔව්හු වසඟ වන්නෝ ය. මුදල් තණ්හාව සැම නපුරට මුල ය. සමහරු මුදලට ආලය වී, ඇදහිල්ලෙන් වැටී, තමන්ට ම බොහෝ දරුණු ලෙස තුවාළ කරගත්හ. එහෙත් දෙවියන් වහන්සේට කැපවූවකු වන ඔබ, මේ දේවලින් වැළකී සිටිය යුතු ය. දමිටුකමට ද භක්තිවන්තකමට ද ඇදහිල්ලට ද ප්‍රේමයට ද ඉවසිලිවන්තකමට ද ශාන්තදාන්තකමට ද, අවධානය යොමු කරන්න. ඇදහිල්ල නමැති මහා ධාවනය වීර්යයෙන් දුවන්න. සදාතන ජීවනය අත් කරගන්න. ඔබ එයට කැඳවනු ලැබූයේ සාක්ෂිකාරයන් කීප දෙනෙකු ඉදිරියෙහි ඔබේ ඇදහීම නිර්භීත ලෙස සහතික කොට ප්‍රකාශ කළ විට ය. සකල ජීවයට උල්පත වූ දෙවියන් වහන්සේ ද, පොන්තියුස් පිලාත් ඉදිරියෙහි ඇදහීම නිර්භීත ලෙස ප්‍රකාශ කළ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ද අබිමුවෙහි මා ඔබට භාර දෙන කටයුත්ත මෙය යි: අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ආගමනය තෙක් මේ ආඥාව කිසි ම දෝෂයක් හෝ කැළලක් හෝ නැති ව පිළිපදින්න. දෙවියන් වහන්සේ එම ආගමනය නියමිත කාලයේ දී එළිදරව් කරන සේක. උන් වහන්සේ වනාහි භාග්‍යවත්, අසහාය අධිපති, රාජාති රාජ, ස්වාමිවරුන්ගේ ස්වාමීන් වන තැනැන් වහන්සේ ය. උන් වහන්සේ පමණක් අමරණීය ය. කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයෙහි උන් වහන්සේ වසන සේක. කිසිවෙක් කිසි කලෙක උන් වහන්සේ දැක නැත; දකින්නටත් බැරි ය. උන් වහන්සේට ගෞරවයත්, සදාතන පරාක්‍රමයත් වේ වා! ආමෙන්. උඩඟු නොවී, අස්ථිර ධනය කෙරෙහි නොව, සියල්ල අපට භුක්ති විඳීමට දෙන දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබන ලෙස මේ ලෝකයේ ධනවතුන්ට, අවවාද කරන්න.