යමෙක් සභාවේ නායක තනතුර දැරීමට ආශා වන්නේ නම්, ඔහු යහපත් වැඩක් කිරීමට කැමැති වන්නේ ය යන කීම සැබෑ වේ. එහෙයින් සභා නායක තෙමේ නිදොස් චරිතයකින් යුත්, එක භාර්යාවක් ඇති පුරුෂයෙකු ද, තැන්පත්, සන්සුන්, ආචාර සම්පන්න, ආගන්තුක සත්කාරයට කැමැති, උගන්වන්නට සමර්ථ තැනැත්තෙකු ද විය යුතු යි. ඔහු බීමත්කමින් තොර, හිංසාකාරී නො වූ ඉවසිලිවන්ත, සාමකාමී, මුදල් තණ්හාව නොමැති, සිය පවුල මැනැවින් පාලනය කරන, තම දරුවන් ගෞරව සම්ප්‍රයුක්ත බියෙන් හික්මවා ගන්න, තැනැත්තෙකු විය යුතු යි. යමෙක් තමාගේ ම පවුල හසුරුවාගන්නට නොදන්නේ නම්, ඔහු දෙවියන් වහන්සේගේ සභාවේ වගකීම දරන්නේ කෙසේ ද? ඔහු ළඟ දී ක්‍රිස්තු භක්තිය වැළඳගත්තෙකු නොවිය යුතු යි. මන්ද, එවැන්නෙකු උඩඟුකමින්, යක්ෂයාට පැමිණි දඬුවමට පත් විය හැකි නිසා ය. ඔහු සභාවෙන් පිට අය විසින් ගරු කොට සලකනු ලබන්නෙකු ද විය යුතු යි. එසේ නොවේ නම් ඔහු හොඳ නම නැති කරගෙන, යක්ෂයාගේ උගුලට අසු වන්නේ ය.
එසේ ම, උපස්ථායකයන් සන්සුන්, දිව දෙකේ කතා නැති, පමණ ඉක්මවා මත්පැන් පානය නොකරන, අයුතු ලාභයට ලොල් නො වූ, ඇදහිල්ලේ අබිරහස පිරිසිදු හෘදය සාක්ෂියකින් දරන තැනැත්තන් විය යුතු ය. උපස්ථායකයන් ලෙස සේවය කිරීමට ඉඩ දිය යුත්තේ, කලින් සෝදිසි කර බලා, ඔවුන්ට විරුද්ධ ව කිසිවක් නොමැති අයට පමණි. එසේ ම ස්ත්‍රීවරුන් ද, ගෞරවය ලැබීමට සුදුසු වූ, ඕපාදූප නොකියන, තැන්පත්, විශ්වාස කටයුතු අය විය යුතු ය. උපස්ථායකයා එක භාර්යාවක් ඇති පුරුෂයෙකු ද, සිය දරුපවුල මැනැවින් රැකබලාගන්නා වූ ද තැනැත්තෙකු විය යුතු ය. යහපත් ලෙස සේවය කර, උසස් තත්ත්වයක් ලබාගන්නා උපස්ථායකයන්ට, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ල තුළින් මහත් නිර්භීතකමක් ලබා ගැනීමට පුළුවන් වෙයි.
ඉක්මනින් ඔබ වෙත එන්නට බලාපොරොත්තු වෙමි. එහෙත් ඔබට මේ අනුශාසනා ලියා එවන්නේ මා ප්‍රමාද වුණොත්, දෙවියන් වහන්සේගේ පවුලෙහි අය කෙසේ හැසිරිය යුතු ද කියා ඔබ දැනගන්නා පිණිස ය. ඒ පවුල වනාහි ජීවමාන දෙවියන් වහන්සේගේ සභාව ය; එය සත්‍යයේ කණුව හා මුල් ගල වේ.