1 තෙසලෝනික 5

5
පුනරාගමනයට සූදානම් වීම
1සහෝදරවරුනි, මේවා සිදුවෙන කාලවේලා හා අවස්ථා ගැන ඔබට ලියා එවීම අවශ්‍ය නැත. 2#මතෙ 24:43; ලූක් 12:39; 2 පේදු 3:10 මන්ද, රාත්‍රියෙහි පැමිණෙන සොරෙකු මෙන් සමිඳාණන් වහන්සේගේ දවස පැමිණෙන බව ඔබ ම හොඳ හැටි දන්නහු ය. 3‘සාමය ඇත; අනතුරක් නැතැ’යි ඔවුන් කියන විට, ගැබිණියකට විළිරුජා පැමිණෙන්නාක් මෙන්, ක්ෂණික විනාශය ඔවුන් පිට පැමිණේ; ඔවුන්ට කිසි ගැළවීමක් නැත.
4එහෙත්, සහෝදරවරුනි, ඔබ අන්ධකාරයේ නොසිටින නිසා, ඒ දවස සොරෙකු මෙන් ඔබ වෙත පැමිණීමට හේතුවක් නැත. 5ඔබ සැම, ආලෝකයේ දරුවෝ ද, දිවා කාලයේ දරුවෝ ද වන්නහු ය; අපි රාත්‍රි කාලයේ වත්, අන්ධකාරයේ වත් දරුවෝ නොවන්නෙමු. 6ඒ නිසා අපි, අන් අය මෙන් නිඳා නොසිට අවදි ව, සිහිකල්පනාව ඇතිව සිටිමු. 7නිඳන්නන් නිඳන්නේ රාත්‍රියේ දී ය; මත් පැන් බොන්නන් මත් වන්නේ රාත්‍රියේ දී ය. 8#යෙසා 59:17; එපී 6:13-17එහෙත් දවාලට අයිති අපි, සිහි කල්පනාව ඇතිව සිටිමු. ඇදහිල්ලත් ප්‍රේමයත් නමැති ළය වැස්ම ද, ගැළවීමේ බලාපොරොත්තුව නමැති යුද්ධ තොප්පිය ද පැළඳගනිමු. 9දෙවියන් වහන්සේ අපට නියම කෙළේ දේව උදහස නොව, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, ගැළවීම ලබාගැනීම ය. 10අප අවදි ව සිටියත්, නිඳා සිටියත්, තමන් වහන්සේ සමඟ එක් ව ජීවත් වන පිණිස ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා මළ සේක. 11එබැවින් ඔබ දැනට ම කරන්නාක් මෙන්, එකිනෙකාට ධෛර්ය දෙන්න, එකිනෙකා ශක්තිමත් කරන්න.
අනුශාසනා හා සුබ පැතුම්
12සහෝදරවරුනි, ඔබ අතර වෙහෙස මහන්සි දරන, ක්‍රිස්තියානි සභාවෙහි මූලිකත්වය දරන, ඔබට අවවාද අනුශාසනා කරන තැනැත්තන් නිසි ලෙස සලකන්න. 13ඔවුන්ගේ සේවය නිසා ඔවුනට උසස් ම ගෞරවාදරය පිරිනමන ලෙස අපි ඔබගෙන් ඉල්ලමු. එකිනෙකා හා සමඟ සාමදානයෙන් සිටින්න.
14සහෝදරවරුනි, අලසයන්ට අවවාද දෙන්න; බියසුල්ලන් දිරිගන්වන්න; දුබලයන්ට සහයවන්න. මේ සියල්ලන් ගැන ඉවසිලිවන්ත ව සිටින මෙන් අපි ඔබගෙන් උදක් ම ඉල්ලමු. 15කිසිවෙකුට නපුරට නපුර නොකරන ලෙස ද, එකිනෙකා ගැනත්, සියල්ලන් ගැනත් නිතර ම යහපත් දේ කරන ලෙස ද වගබලාගන්න.
16නිතර ම ප්‍රීති වන්න, 17නොකඩව යාච්ඤා කරන්න, 18සියල්ලෙහි දී ස්තුති දෙන්න. කිතුනුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මෙය වේ.
19ශුද්ධාත්මානුභාවයට අවහිර නොකරන්න; 20දිවැස් වැකි සුළු කොට නොතකන්න. 21සියල්ල විමසා බලා, යහපත් දේ තදින් අල්ලාගන්න. 22සියලු ආකාර නපුරෙන් වළකින්න.
23සාමදානයේ දෙවියන් වහන්සේ ම ඔබ මුළුමනින් ම පවිත්‍ර කරන සේක් වා! ඔබගේ මුළු ආත්මය ද ප්‍රාණය ද ශරීරය ද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරාගමනයේ දී නිදොස් ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේ වා! 24ඔබ කැඳවන තැනැන් වහන්සේ විශ්වාසවන්ත ය; උන් වහන්සේ එය ඉෂ්ට කරනු නියත ය.
25සහෝදරවරුනි, අප උදෙසා යාච්ඤා කරන්න.
26සියලු සහෝදරයන්ට සාම සිඹීමකින් ආචාර කරන්න. 27මේ හසුන සියලු සහෝදරයන් ඉදිරියෙහි කියවන ලෙස සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි.
28අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කරුණාව ඔබ සමඟ වේ වා!

දැනට තෝරාගෙන ඇත:

1 තෙසලෝනික 5: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න