1 තෙසලෝනික 2:10-20

1 තෙසලෝනික 2:10-20 SNRV

ඇදහිලිවතුන් වන ඔබ අතරෙහි අපි කෙතරම් ශුද්ධ ව, දැහැමි ව, නිදොස් ව හැසුරුණෙමු ද කියා ඔබ පමණක් නොව දෙවියන් වහන්සේත් සාක්ෂි දරන සේක. පියෙකු සිය දරුවන්ට සලකන පරිදි අප ඔබ ගැන සැලකූ හැටි ඔබ දන්නහු ය. දෙවියන් වහන්සේගේ රාජ්‍යයටත් මහිමයටත් කැඳවනු ලැබූ ඔබ, උන් වහන්සේට ඔබින පරිදි ජීවත් වන ලෙස අපි ඔබ එකිනෙකාට අනුශාසනා කළෙමු, ධෛර්යය දුනිමු, ආයාචනා කළෙමු. තවත් කරුණක් ගැන අපි දෙවියන් වහන්සේට නොකඩවා තුති පුදමු. දෙවියන් වහන්සේගේ පණිවුඩය අප ඔබ වෙත ගෙනා කල, ඔබ එය අසා පිළිගත්තේ මනුෂ්‍යයන්ගෙන් එන පණිවුඩයක් මෙන් නොව, ඇත්තෙන් ම දෙවියන් වහන්සේගෙන් ම එන පණිවුඩයක් හැටියට ය. මන්ද, අදහන ඔබ අතර ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේ ය. සහෝදරවරුනි, ක්‍රිස්තියානි සහභාගිකමට ඇතුළත් ජුදයේ දෙවියන් වහන්සේගේ සභාවන්ට සිදු වූ දෙය ම ඔබටත් සිදු විය. ඔවුන් ජුදෙව්වරුන්ගෙන් පීඩා ලැබූ ලෙස ම ඔබත් ඔබගේ ම රටවැසියන්ගෙන් පීඩා ලැබුවහු ය. ඒ ජුදෙව්වරු ජේසුස් ස්වාමීන් වහන්සේ ද, දිවැසිවරයන් ද මරණයට පත් කර, අප පලවා හැරියහ. ඔව්හු දේව කැමැත්තට පිටුපා සියලු මනුෂ්‍යයන්ට සතුරු ව සිටිති. විජාතීන්ට ගැළවීම සලසන පණිවුඩය දේශනා කිරීම පවා අපට තහනම් කර ඇත. මෙසේ ඔව්හු තමන්ගේ පාපවල කෙළවරට ම පැමිණ සිටිති. අවසාන කොට, දැන් දේව උදහස ඔවුන් පිට පැමිණ තිබේ. සහෝදරවරුනි, ටික කලකට අපි ඔබ ඇසින් නුදුටුවත්, සිතින් අමතක නොකෙළෙමු. ඒ කාලයේ දී ඔබගේ මුහුණ දැකීමට අපි ඉමහත් ආශාවකින් බොහෝ සේ උත්සාහ කෙළෙමු. ඔබ වෙත පැමිණීමට අපි පුල පුලා සිටියෙමු. ඇත්තට ම, පාවුලු වන මම කීප වරක් ම උත්සාහ කෙළෙමි. එහෙත් සාතන් අපට බාධා කෙළේ ය. අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ ආගමනයේ දී, උන් වහන්සේ ඉදිරියෙහි අපගේ බලාපොරොත්තුවත්, ප්‍රීතියත් ප්‍රෞඪ කිරීටයත් කවරෙක් ද? ඔබ ම නොවන්නහු ද? එසේ ය, ඔබ අපගේ ගෞරවයත් ප්‍රීතියත් ය.

1 තෙසලෝනික 2:10-20 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය