1 සාමුවෙල් 30:1-8

1 සාමුවෙල් 30:1-8 SNRV

දාවිත් සහ ඔහුගේ සෙනඟ තුන් වන දා ශික්ලග් නගරයට පැමිණියහ. ඊට පෙර අමලෙක්වරු දකුණු දිශාවටත්, ශික්ලග්ටත් විරුද්ධ ව අවුත්, ශික්ලග්ට පහර දී ඒ නගරය ගින්නෙන් දවාදමා, එහි සිටින ස්ත්‍රීන් ද ලොකු කුඩා සියල්ලන් ද වහල්කමට ගෙන, කිසිවෙකු නොමරා ඔවුන් අල්ලාගෙන පිටත් ව ගියහ. දාවිත් ද ඔහුගේ සෙනඟ ද නුවරට පැමිණි කල, එය ගිනි ලා තිබෙන බවත්, ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වහල්කමට ගෙන යන ලද බවත් දුටු හ. එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සෙනඟ ද ඔවුන්ට තවත් හඬන්නට ශක්තිය නැති වන තුරු ම ශබ්ද නඟා ඇඬූ හ. දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අභිනොවම් ද කර්මෙලීය නාබල්ගේ භාර්යාව වී සිටි අබිගායිල් ද වහල්කමට ගෙනයනු ලැබූ හ. දාවිත් දැන් තද අමාරුවකට පත් විය. මන්ද, සෙනඟ සියලු දෙනාගේ සිත් තම තමන්ගේ දරුදැරියන් ගැන ශෝක වූ බැවින් ඔව්හු දාවිත්ට ගල් ගසන්නට තර්ජනය කළහ. එහෙත්, දාවිත් සිය දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි තම ශක්තිය උපදවාගත්තේ ය. දාවිත් අහිමෙලෙක්ගේ පුත් වූ අබියාතර් පූජකයා අමතා: “ඒපොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැ”යි කී ය. අබියාතර් ඒපොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේ ය. දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, “මම මේ හමුදාව ලුහුබැඳ ගියොත්, ඔවුන් කරා පැමිණෙන්නට මට පුළුවන් වේ දැ”යි ඇසුවේ ය. උන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ලුහුබැඳ යන්න; මන්ද, නුඹ සැබැවින් ම ඔවුන් කරා පැමිණ නොවරදවා සිරකරුවන් සියලු දෙනා ම නැවත ලබාගනු ඇතැ”යි වදාළ සේක.