1 සාමුවෙල් 3:2-10

1 සාමුවෙල් 3:2-10 SNRV

දැන් ඒලීගේ ඇස් හරියාකාර නොපෙනෙන තරමට අඳුරුවන්නට පටන්ගෙන තිබුණේ ය. දිනක් ඔහු සිය කාමරයෙහි සැතපෙමින් සිටියේ ය. සාමුවෙල් ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තිබුණු සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයෙහි නිදාගෙන සිටියේ ය. එහි පහන එතෙක් දැල්වෙමින් තිබුණේ ය. එවිට සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු ද, “මම මෙහි ය”යි කී ය. එසේ කියා, ඒලී ළඟට දිව ගොස්, “ඔබ මට අඬගැසුවෙහි ය. මම මෙහි ය”යි කීවේ ය. ඒලී ද, “මම අඬ නොගැසීමි; නැවත නිදාගන්නැ”යි කීවේ ය. ඔහු ගොස් නිදාගත්තේ ය. සමිඳාණන් වහන්සේ නැවතත්, “සාමුවෙල්” කියා අඬගැසූ සේක. සාමුවෙල් නැඟිට ඒලී ළඟට ගොස්, “ඇත්තට ම ඔබ මට අඬගැසුවෙහි ය; මෙන්න, මම මෙහි ය”යි කී ය. එහෙත්, ඒලී පිළිතුරු දෙමින්, “මාගේ පුත්‍රය, මම අඬ නොගැසීමි, නැවතත් නිදාගන්නැ”යි කීවේ ය. සාමුවෙල් ඒ වන තුරු සමිඳාණන් වහන්සේ දැන සිටියේ නැත. ඒ වන තුරු සමිඳාණන් වහන්සේගේ වචන ඔහුට එළිදරව් නො වී ය. සමිඳාණන් වහන්සේ යළිත් තුන් වන වරටත් සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු නැඟිට ඒලී ළඟට ගොස්, “ඔබ මට කතා කෙළෙහි ය. මෙන්න, මම මෙහි ය”යි කී ය. එවිට, සමිඳාණන් වහන්සේ ළමයාට අඬගසන බව ඒලී තේරුම් ගත්තේ ය. එබැවින් ඒලී සාමුවෙල්ට කතා කොට, “ඔබ ගොස් නිදාගන්න. ඔබට නැවත අඬගැසුවොත්, ‘සමිඳාණන් වහන්ස, කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා’යි කියන්නැ”යි කීවේ ය. සාමුවෙල් ගොස් තමාගේ යහනේ නිදාගත්තේ ය. එවිට සමිඳාණන් වහන්සේ වැඩම කර, පළමු වතාවල දී මෙන්, “සාමුවෙල්, සාමුවෙල්,” කියා අඬගැසූ සේක. සාමුවෙල් පිළිතුරු දෙමින්, “කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා ය”යි කීවේ ය.

1 සාමුවෙල් 3:2-10 සඳහා වීඩියෝව

1 සාමුවෙල් 3:2-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය