දාවිත් අලුයම නැඟිට, බැටළු පාලකයෙකුට බැටළුවන් භාර දී, ජෙස්සේ තමාට අණ කළ ලෙස ආහාර රැගෙන ගොස් කඳවුර තිබුණ ස්ථානයට පැමිණියේ ය. ඒ අවස්ථාවේ දී සේනාව රණ බිමට යමින් ඔල්වර හඬ නඟමින් සිටියහ. ඉශ්රායෙල්වරුන්ගේ සේනාව ද පිලිස්තිවරුන්ගේ සේනාව ද එක එකාට විරුද්ධ ව මුහුණට මුහුණ ලා යුද්ධයට සැරසී සිටියහ. දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම් කරන්නා අතට දී, සේනාව ළඟට දිව ගොස් තමාගේ සහෝදරයන්ට ආචාර කෙළේ ය. ඔහු ඔවුන් සමඟ කතා කරන කල, ගාත්හි ගොලියත් නම් පිලිස්තිය මල්ලවයා පිලිස්තිවරුන්ගේ හමුදාවෙන් පිටත් ව අවුත් කලින් මෙන් අභියෝග කෙළේ ය. දාවිත්ට එය ඇසිණි. ඉශ්රායෙල් සෙනඟ සියලු දෙනා ඒ මිනිසා දුටු විට බොහෝ සෙයින් බිය වී ඔහු ඉදිරියෙන් පලා ගියහ. ඉශ්රායෙල් සෙනඟ කතා කොට, “ඉදිරියට එන අර මිනිසා දෙස බලන්න. ඉශ්රායෙල්වරුන්ට ඔහු කරන අභියෝගය අසන්න. යම් මිනිසෙකු ඔහු මැරුවොත්, රජතුමා ඔහුට බොහෝ වස්තුව දී ඔහු ධනවතෙකු කොට, තමාගේ දුව ඔහුට සරණපාවා දී, ඉශ්රායෙල්හි ඔහුගේ පියාගේ පවුල අයබදුවලින් නිදහස් කරනු ඇතැ”යි කී හ. දාවිත් තමා ළඟ සිටි මිනිසුන්ට කතා කොට, “මේ පිලිස්තියයා මරා දමා ඉශ්රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මිනිසාට කුමක් දෙන්නේ ද? ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට අභියෝග කරන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවරෙක් දැ”යි ඇසී ය. සෙනඟ ද පෙර සේ පිළිතුරු දෙමින් ඒ මිනිසා මරන තැනැත්තාට දෙන දේ ද කී හ.
1 සාමුවෙල් 17 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 සාමුවෙල් 17:20-27
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ