1 රාජාවලිය 3:1-15
1 රාජාවලිය 3:1-15 SNRV
තවද, සලමොන් රජු මිසරයේ රජු වන පාරාවෝගේ දුව සරණ පාවාගෙන, පාරාවෝ සමඟ ගිවිසුමක් කරගත්තේ ය. ස්වකීය මාලිගයත්, සමිඳාණන් වහන්සේගේ මන්දිරය හා ජෙරුසලම වටකර පවුරත් ගොඩනඟා නිම කරන තුරු, ඔහු ඇය දාවිත් රජුගේ නුවරට ගෙනාවේ ය. ඒ කාලය වන තුරු සමිඳාණන් වහන්සේගේ නාමයට කිසි මන්දිරයක් ගොඩනඟා නොතිබුණු බැවින් සෙනඟ ගිරිකුළුවල පූජා ඔප්පු කළෝ ය. සලමොන් තම පිය වූ දාවිත්ගේ නියෝග ලෙස හැසිර සමිඳාණන් වහන්සේට ප්‍රේම කෙළේ ය. තවද, ඔහු කඳු මත පූජාස්ථානවල පූජා සහ සුවඳ දුම් ඔප්පු කෙළේ ය. ගිබියොන් ප්‍රධාන කඳු මත පූජාස්ථාන වූ බැවින් පූජා ඔප්පු කරන පිණිස රජ එතැනට ගියේ ය. සලමොන් ඒ පූජාසනය පිට දවන යාග පූජා දහසක් පුද කෙළේ ය. ගිබියොන්හි දී සමිඳාණන් වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සලමොන්ට දර්ශනය වූ සේක. තවද, දෙවියන් වහන්සේ කතා කොට, “මා නුඹට දිය යුතු දෙය ඉල්ලන්නැ”යි වදාළ සේක. සලමොන් කතා කොට, “ඔබේ දාසයා වූ මාගේ පිය වූ දාවිත් ඔබ ඉදිරියෙහි සත්‍යවාදී ව ද ධර්මිෂ්ඨකමින් ද ඔබ සමඟ සිතේ අවංකකමින් ද හැසුරුණු පරිද්දෙන් ඔබ ඔහුට මහා කරුණාවක් පෙන්වූ සේක. තවද, අද තිබෙන හැටියට ඔහුගේ සිංහාසනය අරා හිඳින්න ඔහුට පුත්‍රයෙකු දීමෙන් මේ මහා කරුණාව නොනවත්වා පෙන්වූ සේක. දැනුදු මාගේ දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත් වෙනුවට ඔබේ දාසයා රජ කොට පත් කළ සේක. මම ළා බාල කෙනෙක්මි, රට පාලනයේ දක්ෂකමක් මට නැත. ගණන් කළ නොහැකි අසංබ්‍ය සමූහයක් වන ඔබ විසින් තෝරාගනු ලැබූ ඔබේ සෙනඟ මැද ඔබේ දාසයා සිටියි. එබැවින් ඔබේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස, හොඳ නරක දැනගන්න පුළුවන් වන ලෙස ඥානවන්ත සිතක් ඔබේ දාසයාට දුන මැනව, මන්ද, ඔබේ මේ මහා සෙනඟ විනිශ්චය කරන්න කවරෙකුට පුළුවන් දැ”යි කීවේ ය. සලමොන් මේ දේ ඉල්ලූ නිසා සමිඳාණන් වහන්සේ ඊට ප්‍රසන්න වූ සේක. දෙවියන් වහන්සේ කතා කොට, “නුඹ දීර්ඝායුෂ ඉල්ලන්නේ වත් ධන සම්පත් ඉල්ලන්නේ වත්, නුඹේ සතුරන්ගේ ජීවිතය ඉල්ලන්නේ වත් නැති ව විනිශ්චය තේරුම්ගැනීමට ඥානය ඉල්ලූ බැවින්, බලන්න, මම නුඹේ ඉල්ලීම ලෙස ඉටු කරමි. නුඹට සමාන කෙනෙකු නුඹට පළමුවෙන් සිටියේ වත්, නුඹට පසු ව සිටින්නේ වත් නැති වන ලෙස තියුණු නැණනුවණ නුඹට දෙමි. ඇරත්, නුඹේ මුළු කාලයේ දී රජවරුන් අතරේ නුඹට සමාන කෙනෙකු නොවන ලෙස ධනය ද ගෞරවය ද යන නුඹ නොඉල්ලූ දේත් නුඹට දෙමි. තවද, නුඹේ පිය වූ දාවිත් හැසුරුණ පරිදි නුඹ මාගේ ආඥා ද පනත් ද රක්ෂා කරමින් මාගේ මාර්ගවල හැසිරෙන්නෙහි නම්, නුඹේ ආයුෂ ද වැඩිකරන්නෙමි”යි ඔහුට වදාළ සේක. සලමොන් පිබිද දෙවියන් වහන්සේ ස්වප්නයක් මඟින් කතා කළ බව දැන ගත්තේ ය. ඔහු ජෙරුසලමට අවුත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිට දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කෙළේ ය. තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක් ද පිළියෙළ කොට දුන්නේ ය.

