1 රාජාවලිය 21:1-16
1 රාජාවලිය 21:1-16 SNRV
ඉන්පසු මෙසේ සිදු විය. සමාරියේ රජු වන ආහබ්ගේ මාලිගාවට සමීපව ජෙශ්‍රෙයෙල් නගරයේ නාබොත්ට මිදි වත්තක් තිබිණි. ආහබ් නාබොත්ට කතා කොට, “ඔබේ මිදි වත්ත මාගේ ගෙට සමීපව තිබෙන නිසා එය මට එළවලු වත්තක් පිණිස දෙන්න; ඒ වෙනුවට ඊට වඩා හොඳ මිදි වත්තක් ඔබට දෙන්නෙමි. එසේ නැත්නම්, ඔබ කැමැති නම්, එහි වටිනා මිල ඔබට දෙන්නෙමි”යි කී ය. “මාගේ පියවරුන්ගේ උරුමය ඔබට දීමෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක් වා”යි නාබොත් ආහබ්ට කී ය. එසේ ජෙශ්‍රෙයෙලීය නාබොත් කතා කොට, “මාගේ පියවරුන්ගේ උරුමය ඔබට නොදෙමි”යි කී ඒ වචනය නිසා ආහබ් ශෝක වී කෝපයෙන් තමාගේ ගෙට ගොස් ඇඳේ වැතිර, මුහුණ අහකට හරවාගෙන, කෑම නොකා සිටියේ ය. එවිට ඔහුගේ භාර්යාව වන ජෙශෙබෙල් ඔහු ළඟට අවුත්, “ඔබ සිත අප්‍රසන්න ව තිබෙන්නේත්, ඔබ කෑම නොකා සිටින්නේත් මක්නිසා දැ”යි ඔහුගෙන් ඇසුවා ය. ඔහු ද, “මම ජෙශ්‍රෙයෙලීය නාබොත්ට කතා කොට, ‘ඔබේ මිදි වත්ත මට මිලේට දෙන්න; එසේ නැත්නම්, ඔබ කැමැති නම්, මම එය වෙනුවට ඔබට මිදිවත්තක් දෙන්නෙමි’යි ඔහුට කීවෙමි. එහෙත්, ඔහු මට උත්තර දෙමින්, ‘මාගේ මිදි වත්ත ඔබට නොදෙන්නෙමි’යි කීවේ යැ”යි ඈට කී ය. ඔහුගේ භාර්යාව වන ජෙශෙබෙල් කතා කොට, “දැන් රට පාලනය කරන රජ ඔබ නොවන්නෙහි ද? නැඟිට කෑම කා ඔබේ සිත ප්‍රීති කරගන්න. මම ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ මිදි වත්ත ඔබට ලබා දෙන්නෙමි”යි ඔහුට කීවා ය. ඈ ආහබ්ගේ නමින් ලියුම් ලියා ඔහුගේ මුද්‍රාවෙන් මුද්‍රා කොට, නාබොත් සමඟ ඔහුගේ නුවර විසූ ප්‍රජා මූලිකයන්ටත්, ප්‍රභූවරුන්ටත් ඒ ලියුම් යැව්වා ය. ඈ ලියුම්වල මෙසේ ලීවා ය: “ඔබ හැම උපවාසයක් ප්‍රකාශ කොට, නාබොත් සෙනඟ ඉදිරියෙහි මුල් තැන සිටුවා ඔහු ඉදිරිපිට අධමයන් දෙදෙනෙකු සිටුවන්න. ඔව්හු ඔහුට විරුද්ධ ව චෝදනා කරමින්, ‘ඔබ දෙවියන් වහන්සේටත්, රජුටත් සාප කෙළෙහි ය’යි කියත් වා. පසු ව ඔහු පිටතට ගෙන ගොස් ගල් ගසා මරන්න.” ඔහුගේ නගරවැසියන් වන ඒ නගරයේ විසූ ප්‍රජා මූලිකයෝ ද ප්‍රභූවරු ද ජෙශෙබෙල් තමන්ට යැවූ ලියුම්වල ලියා තිබුණු ප්‍රකාරයට කළෝ ය. ඔව්හු උපවාසයක් ප්‍රකාශ කොට, නාබොත් සෙනඟ ඉදිරිපිට මුල් තැනක සිටෙව්වෝ ය. අධමයන් දෙදෙනෙක් පැමිණ ඔහු ඉදිරියෙහි වාඩි වී, “නාබොත් දෙවියන් වහන්සේටත්, රජුටත් සාප කෙළේ ය”යි සෙනඟ ඉදිරියේ නාබොත්ට විරුද්ධ ව චෝදනා කළෝ ය. එවිට ඔව්හු ඔහු නගරයෙන් පිටතට ගෙන ගොස් ගල් ගසා මරා, “නාබොත් ගල් ගසනු ලැබ මළේ ය”යි ජෙශෙබෙල්ට කියා යැවුවෝ ය. තවද, නාබොත් ගල් ගසනු ලැබ මියගිය බව ජෙශෙබෙල් ඇසූ විට, ඈ ආහබ්ට කතා කොට, “ජෙශ්‍රෙයෙලීය නාබොත් ඔබට විකුණන්නට අකමැති වූ ඔහුගේ මිදි වත්ත ඔබ ගොස් හිමි කරගන්න. මන්ද නාබොත් ජීවත් ව නැත. මියගොස් ඇතැ”යි කීවා ය. නාබොත් මළ බව ආහබ් ඇසූ විට, ඔහු ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ මිදි වත්ත අයිති කරගන්න පිණිස එහි යන්න පිටත් වුණේ ය.

