සිරියාවේ රජ වන බෙන්-හදද් සිය මුළු සේනාව රැස් කොට, තවත් රජවරුන් තිස්දෙදෙනෙකු ද අශ්වයන් ද අශ්වරථ ද සමඟ අවුත් සමාරිය වටලා ඊට විරුද්ධ ව යුද්ධ කෙළේ ය. ඔහු නගරයේ සිටි ඉශ්රායෙල් රජ වන ආහබ් වෙත පණිවුඩකාරයන් යවමින්, “ඔබේ රන් රිදී සහ භාර්යාවන් ද දරුවන්ගෙන් ඉතා ප්‍රසන්න අය ද මට පාවා දිය යුතු ය”යි ඔහුට දන්වා යැවී ය. ඉශ්රායෙල් රජ ද, “මාගේ ස්වාමීන් වන රජතුමනි, ඔබේ කීම ප්‍රකාර මමත්, මට ඇති සියල්ලත් ඔබට අයත් වෙමු”යි උත්තර දුන්නේ ය. පණිවුඩකාරයෝ නැවත අවුත් කතා කොට, “ඔබේ රන් රිදී ද ඔබේ අඹු දරුවන් ද ඔබ මට දෙන්න ඕනෑ යයි ඔබට කියා එවීමි. ඇරත් හෙට මේ වේලාවට පමණ මාගේ සේවකයන් ඔබ ළඟට එවන්නෙමි. ඔවුන් ඔබේත්, ඔබේ සේවකයන්ගේත් ගෙවල් සෝදිසි කර, ඔබට ප්‍රසන්න වන සියල්ල ම ඔවුන්ගේ අතට ගෙන එනු ඇත කියා බෙන්-හදද් කියන්නේ ය”යි සැළ කළහ. එවිට ඉශ්රායෙල් රජ දේශයේ සියලු ප්‍රජා මූලිකයන් කැඳවා, “මේ මිනිසා නපුරක් කරන්න සොයන හැටි කල්පනා කර බලන්න, ඔහු මාගේ භාර්යාවන් ද මාගේ දරුවන් ද මාගේ රන් රිදී ද මාගෙන් ඉල්ලා එවූ විට, දෙන්නට බැරිය කියා මම නොකීවෙමි”යි දැන්වී ය. සියලු ප්‍රජා මූලිකයෝ ද මුළු සෙනඟ ද කතා කොට, “ඔබ ඇහුම්කන් නුදුන මැනව; ඊට එකඟ නූණ මැනව”යි ඔහුට කී හ. එබැවින් ඔහු බෙන්-හදද්ගේ පණිවුඩකාරයන්ට කතා කොට, “ඔබ පළමුවෙන් ඔබේ මෙහෙකරුවා අත කියා එවූ සියල්ල ම කරන්නෙමි, එහෙත්, මේ දේ මට කරන්නට බැරිය කියා මාගේ ස්වාමීන් වන රජතුමා හට දන්වන්නැ”යි කී ය. පණිවුඩකාරයෝ ද පිටත් ව ගොස් ඔහුට එම උත්තරය දැන් වූ හ. බෙන්-හදද් ද කතා කොට, “සමාරියේ දූවිලි මා පසුපස එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්න වත් මදිවන තරම් විශාල සෙනඟක් නාවොත්, දෙවිවරු මට ඉතා දරුණු ලෙස දඬුවම් කරත් වා”යි ඔහුට දන්වා ඇරියේ ය. ඉශ්රායෙල් රජ පිළිතුරු දෙමින්, “උදම් ඇනිය යුත්තේ යුද්ධායුධ පළඳන්නා නොව ඒවා ගලවන්නා ය කියා ඔහුට දන්වන්නැ”යි කීවේ ය. රජුන් සමඟ කූඩාරම්වල මත්පැන් පානය කරමින් සිටි බෙන්-හදද් ඒ කීම ඇසූ විට, “සටනට සැරසෙන්නැ”යි සිය සේවකයන්ට කීවේ ය. ඔව්හු ද නගරයට විරුද්ධ ව සැරසී සිටගත්හ.
1 රාජාවලිය 20 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 රාජාවලිය 20:1-12
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ