1 රාජාවලිය 14:21-31

1 රාජාවලිය 14:21-31 SNRV

සලමොන්ගේ පුත් රෙහොබෝවම් ජුදාහි රජකමට පත් විය. රෙහොබෝවම් රජකමට පත් වන කල සතළිස් එක් අවුරුද්දක් වයස් ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ සිය නාමය තැබීමට සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නගරය වූ ජෙරුසලමෙහි ඔහු දහහත් අවුරුද්දක් රජකම් කෙළේ ය. අම්මොනිය ජාතික ස්ත්‍රියක වන ඔහුගේ මවගේ නම නාමා ය. ජුදාවරු ද සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට තමන් කළ පාපවලින් තමන්ගේ පියවරුන් කළ සියල්ලට වඩා උන් වහන්සේ කෝප කළෝ ය. ඔව්හු කඳු මත පූජාස්ථාන ගොඩනඟා, සියලු උස් හෙල් පිට ද විශාල අතුපතර ඇති සියලු ගස් යට ද පිළිම සහ අෂේරා කප් කණු ඉදි කළෝ ය. සල්ලාලකම් කළ පිරිමි පවා කඳු මත පූජාස්ථානවල වූ හ. ඉශ්රායෙල් ජනයා යන්න කලින් සමිඳාණන් වහන්සේ පන්නාදැමූ ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා ඔව්හු අනුගමනය කළෝ ය. තවද, රෙහොබෝවම් රජුගේ පස් වන අවුරුද්දේ දී මිසරයේ රජ වූ ෂීෂක් ජෙරුසලමට පහර දී, සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වස්තු ද රජ මාලිගාවෙහි වස්තු ද රැගෙන ගියේ ය. සලමොන් විසින් සාදවනු ලැබ තිබුණු සියලු රන් පලිස් ඇතුළු සියල්ල ම රැගෙන ඔහු යන්න ගියේ ය. රෙහොබෝවම් රජ ඒ වෙනුවට ලෝකඩ පලිස් සාදා රජ මාලිගාවේ දොරටුවල රැකවල් කළ මුර භටයන්ගේ අධිපතීන් අතට භාර දුන්නේ ය. රජතුමා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන සියලු ප්‍රස්තාවන්හි දී මුර භටයෝ ඒවා උසුලාගෙන අවුත් නැවත මුරගෙට ගෙන ගියෝ ය. රෙහොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? රෙහොබෝවම් සහ ජෙරොබෝවම් අතර නිතර ම යුද්ධ පැවතිණි. රෙහොබෝවම් මියගිය පසු තමාගේ පිය වූ දාවිත්ගේ නුවර රජ පරපුරේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබී ය. අම්මොනිය ජාතික ස්ත්‍රියක වූ ඔහුගේ මවගේ නම නාමා ය. ඉන්පසු ඔහුගේ පුත් අබියාම් ඔහු වෙනුවට රජ විය.