1 රාජාවලිය 11:11-31
1 රාජාවලිය 11:11-31 SNRV
එබැවින් සමිඳාණන් වහන්සේ සලමොන්ට කතා කොට, “නුඹ මාගේ ගිවිසුම ද මා නුඹට අණ කළ මාගේ ආඥා ද නොපවත්වා මෙසේ කළ බැවින් සැබැවින් ම රාජ්‍යය නුඹෙන් උදුරා නුඹේ මෙහෙකරුවාට දෙන්නෙමි. එහෙත්, නුඹේ පිය දාවිත් නිසා මම නුඹේ කාලයේ දී එය නොකොට, නුඹේ පුත්‍රයාගේ අතින් එය පැහැර ගන්නෙමි. තවද, මුළු රාජ්‍යය පැහැර නොගෙන මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත්, මා තෝරාගත් ජෙරුසලම නිසාත් නුඹේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේ සලමොන් රජු හට විරුද්ධකාරයෙකු කොට ඒදොම් ජාතික හදද් නම් තැනැත්තා එවූ සේක. ඔහු ඒදොම් රාජ වංශයේ කෙනෙකි. දාවිත් ඒදොම්හි සිටිය දී ඒදොම්හි සියලු පිරිමින් මරාදැමූ පසු, මැරුම්කෑ තැනැත්තන් භූමදාන කරන පිණිස සෙන්පති ජෝවාබ් ගිය කල මෙසේ විය. එනම්, ජෝවාබ් හා සියලු ඉශ්රායෙල්වරු ඒදොම්හි සියලු පිරිමින් මරා දමන තුරු එහි හය මාසයක් නැවතී සිටියෝ ය. එහෙත්, හදද් සහ ඔහු සමඟ ඔහුගේ පියාගේ සේවකයන්ගෙන් ඒදොම්හි සමහර මනුෂ්‍යයෝ මිසරයට යන පිණිස පලා ගියෝ ය. මෙකල හදද් කුඩා ළමයෙකි. ඔව්හු මිදියන් දේශයෙන් පිටත් ව පාරාන් දේශයට පැමිණ, පාරාන් දේශයෙන් මිනිසුන් කැඳවාගෙන, මිසරයේ රජ වූ පාරාවෝ වෙත මිසරයට ගියෝ ය. රජ තෙම ඔහුට වාසස්ථානයක් දී, ආහාර පාන නියම කොට, ගම්බිම් ද දුන්නේ ය. පාරාවෝ හදද් කෙරෙහි ඉතා ප්‍රසන්න ව සිටි බැවින් තම බිරිඳගේ සහෝදරී වන තාපෙනෙස් රැජිනගේ සහෝදරී ඔහුට බිරිඳ කොට දුන්නේ ය. තාපෙනෙස් රැජිනගේ සහෝදරී ඔහුගෙන් ගෙනුබත් නම් පුත්‍රයා ලැබුවා ය. තාපෙනෙස් පාරාවෝගේ මාලිගාවේ දී ඔහු ඇතිදැඩි කළා ය. ගෙනුබත් පාරාවෝගේ මාලිගාවෙහි පාරාවෝගේ පුත්‍රයන් අතර ජීවත් විය. දාවිත් රජු මියගිය බවත්, ජෝවාබ් සෙන්පති මළ බවත් හදද් මිසරයේ දී අසා, “මාගේ රටට යන්නට මා හැරිය මැනව”යි පාරාවෝට කී ය. එවිට පාරාවෝ ඔහුට කතා කොට, “ඔබේ රටට යන්න හදන්නේ මා ළඟ ඔබට මොන හිඟයක් නිසා දැ”යි ඇසී ය. “හිඟයක් නැත, එහෙත්, කෙසේ වුව ද මට යන්නට අවසර දුන මැනව”යි ඔහු උත්තර දිනි. දෙවියන් වහන්සේ ඔහුට තවත් විරුද්ධකාරයෙකු එවූ සේක. එනම්, තම ස්වාමීන් වූ ශෝබායේ රජ වූ හදද්-එශෙර් වෙතින් පලා ගිය එලියාදාගේ පුත්‍ර වූ රෙශොන් ය. දාවිත් ශෝබායේ මිනිසුන් මරාදමන කල ඔහු තමා ළඟට මිනිසුන් කීප දෙනෙකු රැස් කරගෙන මංකොල්ලකාර හමුදාවක අධිපතියා විය. ඔව්හු දමස්කයට ගොස් එහි වාසය කරමින් දමස්කයෙහි රජකම් කළෝ ය. හදද් කළ අනතුර හැර සලමොන්ගේ මුළු කාලයේ දී ම ඔහු ඉශ්රායෙල්වරුන්ට සතුරෙකු ව සිට, ඉශ්රායෙල්වරුන් පිළිකුල් කොට ඒදොම් රටේ රජකම් කෙළේ ය. ශෙරේදායේ එප්‍රායිම් ජාතිකයෙකු වූ නෙබාත්ගේ පුත්‍ර වූ ද සලමොන්ගේ සේවකයෙකු වූ ද ජෙරොබෝවම්, රජුට විරුද්ධ ව කැරලි ගැසී ය. වැන්දඹු ස්ත්‍රියක ව සිටි ඔහුගේ මවගේ නම ශෙරුවා ය. ඔහු රජුට විරුද්ධ ව කැරලි ගැසුවේ මෙලෙස ය: සලමොන් මිල්ලෝ ගොඩනඟමින් ද තම පිය දාවිත්ගේ නුවර ප්රාකාරයේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කරමින් ද සිටියේ ය. ජෙරොබෝවම් බලසම්පන්න මනුෂ්‍යයෙකි. සලමොන් ඒ තරුණයා කඩිසර කෙනෙකු බව දැක ජෝසෙප්ගේ ගෝත්‍රයට නියම වූ වහල් වැඩ සියල්ල කෙරෙහි ඔහු පත් කෙළේ ය. ඒ කාලයේ දී ජෙරොබෝවම් ජෙරුසලමෙන් පිටතට යන කල, අලුත් සළුවක් පොරවාගෙන සිටි ෂිලෝහි අහියා නම් දිවැසිවරයාට ඔහු මඟ දී සම්බ විය. ඒ දෙදෙනා පමණක් කෙතෙහි සිටියෝ ය. අහියා තමා ඇඳ සිටි අලුත් සළුව ගෙන කෑලි දොළොසකට ඉරා, ජෙරොබෝවම්ට කතා කොට මෙසේ කී ය: “ඔබ කෑලි දහයක් ගන්න, මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක, ‘මම සලමොන්ගේ රාජ්‍යය පැහැරගෙන ඔබට ගෝත්‍ර දසයක් දෙන්නෙමි.

