1 කොරින්ති 4:6-21
1 කොරින්ති 4:6-21 SNRV
සහෝදරයෙනි, මම ඔබ උදෙසා මේ දේ උපමානුසාරයෙන්, අපොල්ලොස්ටත් මටත් අදාළ කොට කීමි. එසේ කීවේ නීතිරීති කඩ නොකිරීමට ඔබ අපෙන් ඉගෙනගන්නා පිණිසත්, ඔබෙන් කවරෙකු වත් එක් කෙනෙකු ගැන ආඩම්බර වී අන් කෙනෙකු හෙළා නොදකින පිණිසත් ය. ඔබට එතරම් ප්රමුඛත්වයක් දුන්නේ කවරෙක් ද? දෙවියන් වහන්සේ දුන් දේ හැර අන් කිසිවක් ඇද් ද? ඉතින්, එය දෙන ලද දෙයක් නම් ඔබ සතු දෙයක් සේ ම සලකා පාරට්ටු කරගන්නේ මන් ද? අවශ්‍ය හැම දේ ම දැනට ම ඔබට ඇත; දැනට ම ඔබ ධනවත් ය. දැනට ම අප නැතුව ඔබ රජවරු ය. ඔබ සැබෑවට ම රජවරු නම් මම කෙතරම් කැමැති වෙම් ද? එවිට අපටත් ඔබ සමඟ රජවරුන් වෙන්න ඉඩ තිබිණි. මට පෙනෙන්නේ, දෙවියන් වහන්සේ අපෝස්තුළුවරුන් වන අප මරණයට නියම කළ අය මෙන්, අන්තිම තැන අපට දී තිබෙන බව යි. මෙලෙස අපි දේව දූතයන් හා මනුෂ්‍යයන් හා ඇතුළු මුළු ලොවට ම ප්‍රසිද්ධ ප්‍රදර්ශනයක් වී සිටිමු. ක්‍රිස්තුන් වහන්සේ උදෙසා අපි මෝඩයෝ ය, එහෙත් ඔබ උගත් කිතුනුවෝ ය. අපි දුබල ය; ඔබ බලවත් ය, ඔබට ගෞරවය ඇත, අපට අගෞරවය ඇත. මේ මොහොත දක්වා ම අපි කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළෙමු. වැරහැලි අඳිමු; පහර ලබමු; ගෙයක්දොරක් අපට නැත. දෑතින් වැඩ කර වෙහෙස මහන්සි වෙමු. නින්දා ලබන කල, අපි ආශීර්වාද කරමු; පීඩා ලබන කල, අපි ඉවසමු; අපකීර්තිය ලබන කල අපි මෙත් සිත් වඩමු. මේ දක්වා ම අපි කුණුකසළ මෙන් වී සිටිමු. මා මෙලෙස ලියන්නේ ඔබ ලජ්ජා කරන අදහසින් නොව, මාගේ ප්‍රියාදර දරුවන්ට මෙන් ඔබට අවවාද කරන පිණිස ය. කිතුනු ජීවිතයේ ඔබට දස දහසක් ගුරුවරුන් සිටියත්, පියවරු වැඩි දෙනෙක් නැත. මන්ද, සුබ අස්න දේශනා කිරීමෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඔබගේ පියා වූයේ මම ය. එහෙයින් මාගේ ආදර්ශය අනුගමනය කරන මෙන් උදක් ම ඉල්ලමි. එබැවින් මේ සඳහා සමිඳාණන් වහන්සේ තුළ මට ප්‍රියාදර, විශ්වාසවන්ත පුත්‍රයෙකු වන තිමෝතියස් ඔබ වෙත එවමි. ඔහු හැමතැන, හැම සභාවල මා උගන්වන ක්‍රිස්තුන් වහන්සේ තුළ වූ මාගේ සදාචාර පිළිවෙත් ඔබට සිහිගන්වනු ඇත. මා ඔබ වෙත නොඑති යි කියමින් සමහරුන් අහංකාර වී ඇත. එහෙත් සමිඳාණන් වහන්සේ කැමැති වන සේක් නම්, මම නොපමා ව ඔබ වෙත අවුත්, අහංකාර අයගේ කථිකත්වය නොව ඔවුන්ගේ බලයේ තරම දැනගන්නෙමි. මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය වනාහි කතා ශක්තියෙන් නොව දේව බලයෙන් ක්‍රියා කරන්නකි. ඔබ කැමැති කුමකට ද? කෝටුවක් රැගෙන මා ඔබ වෙත එනවාට ද? නැත්නම් ප්‍රේමයෙනුත් මුදු සිතිනුත් ඔබ වෙත එනවාට ද?

