1 කොරින්ති 12:8-30

1 කොරින්ති 12:8-30 SNRV

කෙනෙකුට ආත්මයාණන් මඟින් උවදෙස් දීමේ ප්‍රඥාව ද, තවත් කෙනෙකුට එම ආත්මයාණන් මඟින් ම ධර්මය පහදා දීමේ ඥානය ද දී ඇත. අන් කෙනෙකුට ආත්මයාණන් තුළ විශ්වාසය ද, එම ආත්මයාණන් තුළ තවත් කෙනෙකුට සුව කිරීමේ දීමනා ද දී ඇත. තවත් කෙනෙකුට හාස්කම් කිරීමේ බලය ද, තවත් කෙනෙකුට දිවැසි වැකි කීමේ බලය ද, තවත් කෙනෙකුට ආත්ම විමසීමේ හැකියාව ද තවත් කෙනෙකුට අන් භාෂාවලින් කතා කිරීමේ පුළුවන්කම ද තවත් කෙනෙකුට එය පහදා දීමේ ශක්තිය ද දී ඇත. මේ සියලු දීමනා, තමන් කැමැති පරිදි, වෙන් වෙන් වශයෙන් එකිනෙකාට බෙදා දෙන්නේ එක ම ආත්මයාණන් වහන්සේ ය. මනුෂ්‍ය ශරීරයෙහි බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වුවත් ඒ සියල්ල එක ම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේත් එක ම ශරීරයක් වන සේක. මන්ද, ජුදෙව්වරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහස් අය හෝ වේවා, අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන් තුළ එක ම ශරීරයක් වන ලෙස, බව්තීස්ම-ස්නාපනය ලැබීමු. අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන්ගෙන් පානය කර සිටිමු. ශරීරය එක අවයවයක් නොව බොහෝ අවයවවලින් යුක්ත වූවකි. යම් හෙයකින් පාදය: “මම අත නොවන බැවින් ශරීරයට අයිති නොවෙමි”යි කීවත්, ඒ නිසා එය ශරීරයට අයිති නොවන්නේ නොවේ. එසේ ම කණ: “මම ඇස නොවන බැවින් ශරීරයට අයිති නොවෙමි”යි කීවත්, ඒ නිසා එය ශරීරයට අයිති නොවන්නේ නොවේ. මුළු ශරීරය ඇසක් නම් ශ්‍රවණය කොයි ද? මුළු ශරීරය කනක් නම් ගඳ සුවඳ විඳීම කොයි ද? සැබැවින් ම දෙවියන් වහන්සේ තමන් කැමැති පරිදි ඒ එක් එක් අවයවය ශරීරයෙහි පිහිටුවා ඇත. ඒ අවයව සියල්ල ම එක ම අවයවයක් වේ නම් එවිට ශරීරයක් කොයින් ද? මේ අනුව බොහෝ අවයව තිබෙන නමුත් ඇත්තේ එක ම ශරීරයකි. ඒ නිසා “නුඹ මට ඕනෑ නැතැ”යි අත අමතා ඇසට වත්, “නුඹලා මට ඕනෑ නැතැ”යි පා අමතා හිසට වත් කීමට නොහැකි ය. සැබැවින් ම, ශරීරයේ දුර්වල යයි සලකන අවයව අත්‍යවශ්‍ය වේ. තවද අපි, ශරීරයෙහි සුළුකොට සලකන අවයවයන් වඩාත් ගරු කොට සලකමු. ඇරත් ශෝභා සම්පන්න නො වූ අවයවයන්ට වඩාත් ශෝභනත්වයක් දෙමු. මන්ද, ශෝභා සම්පන්න වූ අවයවයන්ට එවැනි උවමනාවක් නැත. ගරු කොට නොසලකන අවයවයන්ට දෙවියන් වහන්සේ වඩා ගරුත්වයක් දෙමින් ශරීරය සංයුක්ත කළ සේක. එසේ කෙළේ ශරීරයේ භේදයක් නොතිබෙන පිණිසත්, සෑම අවයවයක් ම අනෙක් අවයවයන් එකාකාර ව සලකන පිණිසත් ය. මෙසේ එක අවයවයක් වේදනා විඳී නම් ඒ සමඟ සියලු ම අවයවයෝ වේදනා විඳිති; එලෙස ම එක අවයවයක් ගෞරව ලබයි නම්, ඒ සමඟ සියලු ම අවයවයෝ ප්‍රීති වෙති. එහෙයින් ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය ද වෙන් වෙන් වශයෙන් එහි අවයවයෝ ද වන්නහු ය. මෙසේ දෙවියන් වහන්සේ පළමුකොට අපෝස්තුළුවරුන් ද දෙවනු ව දිවැසිවරයන් ද තුන්වනු ව ගුරුවරුන් ද ඉන්පසු හාස්කම් කරන අය ද සුව කිරීමේ වරම ලත් අය ද උපකාර කරන්නන් ද පරිපාලනය කරන්නන් ද විවිධ ශබ්ද ව්‍යවහාර කරන්නන් ද සභාවෙහි පිහිටුවා වදාළ සේක. සියල්ලෝ ම අපෝස්තුළුවරු ද? සියල්ලෝ ම දිවැසිවරයෝ ද? සියල්ලෝ ම ගුරුවරු ද? සියල්ලෝ ම හාස්කම් කරන්නෝ ද? සුව කිරීමේ වරම සියල්ලන්ට ම තිබේ ද? සියල්ලෝ ම විවිධ ශබ්ද ව්‍යවහාර කරත් ද? සියල්ලෝ ම ශබ්ද පහදා දෙන්නෝ ද?

1 කොරින්ති 12:8-30 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය