1 කොරින්ති 12:4-14

1 කොරින්ති 12:4-14 SNRV

විවිධාකාර දීමනා ඇතත්, සිටින්නේ එක ම ශුද්ධාත්මයාණෝ ය. විවිධාකාර සේවා ඇතත්, සිටින්නේ එක ම සමිඳාණන් වහන්සේ ය. විවිධාකාර දේව බල ක්‍රියා කරතත්, සිටින්නේ සියල්ලන් තුළ ක්‍රියා කරන එක ම දෙවියන් වහන්සේ ය. අන්‍යොන්‍ය යහපත සඳහා එකිනෙකාට ආත්මයාණන්ගේ ප්‍රකාශවීමක් දී ඇත. කෙනෙකුට ආත්මයාණන් මඟින් උවදෙස් දීමේ ප්‍රඥාව ද, තවත් කෙනෙකුට එම ආත්මයාණන් මඟින් ම ධර්මය පහදා දීමේ ඥානය ද දී ඇත. අන් කෙනෙකුට ආත්මයාණන් තුළ විශ්වාසය ද, එම ආත්මයාණන් තුළ තවත් කෙනෙකුට සුව කිරීමේ දීමනා ද දී ඇත. තවත් කෙනෙකුට හාස්කම් කිරීමේ බලය ද, තවත් කෙනෙකුට දිවැසි වැකි කීමේ බලය ද, තවත් කෙනෙකුට ආත්ම විමසීමේ හැකියාව ද තවත් කෙනෙකුට අන් භාෂාවලින් කතා කිරීමේ පුළුවන්කම ද තවත් කෙනෙකුට එය පහදා දීමේ ශක්තිය ද දී ඇත. මේ සියලු දීමනා, තමන් කැමැති පරිදි, වෙන් වෙන් වශයෙන් එකිනෙකාට බෙදා දෙන්නේ එක ම ආත්මයාණන් වහන්සේ ය. මනුෂ්‍ය ශරීරයෙහි බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වුවත් ඒ සියල්ල එක ම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේත් එක ම ශරීරයක් වන සේක. මන්ද, ජුදෙව්වරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහස් අය හෝ වේවා, අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන් තුළ එක ම ශරීරයක් වන ලෙස, බව්තීස්ම-ස්නාපනය ලැබීමු. අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන්ගෙන් පානය කර සිටිමු. ශරීරය එක අවයවයක් නොව බොහෝ අවයවවලින් යුක්ත වූවකි.