1 කොරින්ති 1:25-29

1 කොරින්ති 1:25-29 SNRV

ප්‍රලාපයකැ යි කියන දෙවියන් වහන්සේගේ ප්‍රලාපය, මිනිස් ප්‍රඥාව ඉක්ම වූ ප්‍රඥාවකි. දුබලකමකැ යි කියන දෙවියන් වහන්සේගේ දුබලකම මිනිස් ශක්තිය ඉක්ම වූ ශක්තියකි. සහෝදරයෙනි, ඔබගේ කැඳවීම ගැන සිතා බලන්න. ලෝක මිම්ම අනුව ප්‍රඥාවන්ත යැයි කිව හැකි බොහෝ දෙනෙක් ඔබ අතර නො වූ හ. එලෙස ම, බලවත් අයත්, කුලවත් අයත් වැඩි දෙනෙක් නො වූ හ. එහෙත් ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස, ලෝක මිම්ම අනුව මෝඩ යයි සම්මත දේ, දෙවියන් වහන්සේ තෝරාගත් සේක. එමෙන් ම බලවතුන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝක මිම්ම අනුව දුබල යයි සම්මත දේ දෙවියන් වහන්සේ තෝරාගත් සේක. ලෝකයා අගය කොට සලකන දේ නැති කරනු පිණිස, දෙවියන් වහන්සේ ලෝකයා පහත් කොට සලකන, හෙළා දකින, එමෙන් ම වැදගැම්මක් නැතැ යි සලකන දේ, තෝරාගත් සේක. එසේ කෙළේ කිසිවෙකු දෙවියන් වහන්සේ ඉදිරියෙහි පාරට්ටු කර නොගන්නා පිණිස ය.