රූත් 2:4-12

රූත් 2:4-12 NRSV

කෙත අයිතිකාර බෝවස් ම බෙත්ලෙහෙමේ සිට එහි පැමිණියේ ය. “සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වේ වා!”යි කියමින් ඔහු ගොයම් කපන්නන්ට ආචාර කෙළේ ය. ඔව්හු ද, “ඔබටත් දෙවි සමිඳාණන් වහන්සේ ආශීර්වාද කරන සේක් වා!”යි පිළිතුරු දුන්හ. බෝවස් ගොයම් කපන්නන් භාර ව සිටි තම සේවකයා අමතා, “අර තරුණිය කාගේ කවුදැ”යි ඇසී ය. සේවකයා උත්තර දෙමින් මෙසේ කී ය: “ඒ මෝවබ් දේශයෙන් නයෝමි සමඟ ආ මෝවබ් ජාතික තරුණිය ය. ‘ගොයම් කපන්නන් පස්සේ ගොසින් කරල් අහුලාගන්න දැ’යි ඈ මාගෙන් ඇසුවා ය. ඈ අලුයම සිට මේ වන තෙක් විවේක නොගෙන කරල් අහුලමින් සිටින්නී ය.” එවිට බෝවස් රූත්ට මෙසේ කී ය: “මාගේ දියණිය, මට ඇහුම්කන් දෙන්න, මේ කෙතෙහි හැර වෙන කිසි තැනක කරල් අහුලන්නට නොයන්න. මෙහි නැවතී මාගේ සේවිකාවන් සමඟ වැඩ කරන්න. ඔවුන් අස්වැන්න එකතු කරගන්නේ කොහේ දැ යි බලාගෙන ඔවුන් පස්සෙන් යන්න. ඔබට කිසි හිරිහැරයක් නොකිරීමට මම මාගේ සේවකයන්ට අණ කෙළෙමි. ඔබට පිපාසය ඇති වූවොත්, ගොස් ඔවුන් පුරවා තබා තිබෙන වතුර භාජනවලින් බොන්න.” රූත් බෝවස්ගේ පාමුල මුණින්තළා වැඳ වැටී, “විදේශික ගැහැණියක වන මා දෙස ඇස් හෙළා ඔබ මට මෙපමණ කරුණාවන්ත වන්නේ මන්දැ”යි ඇසුවා ය. බෝවස් මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔබේ ස්වාමි පුරුෂයාගේ මරණින් පසු ඔබේ නැන්දම්මාට ඔබ සලකා තිබෙන අන්දම ගැන සියලු කාරණා මම දැනගතිමි. ඔබේ දෙමාපියන් ද මවුබිම ද හැර දමා නන්නාඳුනන සෙනඟක් මැදට ඔබ පැමිණි ආකාරය ගැන සියලු කාරණා මම දනිමි. ඔබ කළ යහපතට සමිඳාණන් වහන්සේ ඔබට සෙත සලසන සේක් වා; ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ රැකවරණය සොයා පැමිණි ඔබට උන් වහන්සේ ආශීර්වාද කරන සේක් වා!”

රූත් 2 කියවන්න