රෝම 9:1-18

රෝම 9:1-18 NRSV

මම කිතුනුවෙකු වශයෙන් සත්‍යය පවසමි. මෙය මුසාවක් නොවේ. ඒ බවට ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ මාගේ හෘදය සාක්ෂිය සහතික කරයි. මා තුළ බලවත් ශෝකයක් ද හදවතෙහි නිරන්තර වේදනාවක් ද ඇත. මාගේ ලේ නෑයන් වූ සහෝදරයන් උදෙසා, ක්‍රිස්තුන් වහන්සේගෙන් වෙන් වී සාප ලද්දෙකු වීමට හැකි නම් ඊට වුවත් මම කැමැති වෙමි. ඔව්හු ඉශ්රායෙල්වරු ය, දේව පුත්‍රකමට පිළිගනු ලැබීම හා මහිමය ඔවුන්ගේ ය. ගිවිසුම් හා ව්‍යවස්ථාව ද දේව සේවය හා පොරොන්දු ද ඔවුන් සතු ය. ඔවුන් ජාතියේ පීතෘවරුන්ගේ පෙළපතට අයිති ය. මනුෂ්‍යයෙකු ලෙස ක්‍රිස්තුන් වහන්සේ උපන්නේත් එම පෙළපතෙහි ම ය. මුළු විශ්වයට අධිපති වූ දෙවියන් වහන්සේට සදහට ම ප්‍රශංසා වේ වා! ආමෙන්. එහෙත් දෙවියන් වහන්සේගේ පොරොන්දුව නිරර්ථක වූවා නොවේ. මන්ද, ඉශ්රායෙල් පෙළපතෙන් පැවත එන සියල්ලෝ ම තෝරාගත් සෙනඟ නොවෙ‍ති. එමෙන් ම ආබ්‍රහම්ගෙන් පැවත එන සියල්ලෝ ම ඒ නිසා ම ඔහුගේ දරුවෝ නොවෙ‍ති. කෙසේ වෙතත්, “ඔබට පෙළපත ලැබෙන්නේ ඊසාක් ගෙන් ය”යි ලියා ඇත. ඉන් අදහස් කරනුයේ, ස්වාභාවික ලෙස උපන් දරුවන් දෙවියන් වහන්සේගේ දරුවන් නොවන බවත්, ආබ්‍රහම්ගේ පෙළපත වශයෙන් ගණන් ගැනෙන්නේ පොරොන්දුව අනුව උපන් දරුවන් බවත් ය. ඒ පොරොන්දුව නම්, “නියමිත කාලයේ දී මම එන්නෙමි, එවිට සාරාට පුතෙකු ලැබෙනු ඇත” යනු යි. එපමණකුත් නොවේ, රෙබෙකාගේ දරුවන් දෙදෙනාට ඊසාක් නම් එක ම පියෙක් විය. එහෙත් ඔවුන් උපදින්න කලින්, යහපත හෝ අයහපත හෝ කරන්නටත් පෙර, “වැඩිමලා බාලයාට සේවය කරනු ඇතැ”යි ඈට කියන ලදී. එසේ කියන ලද්දේ, දෙවියන් වහන්සේගේ තෝරා ගැනීම, උන් වහන්සේගේ කැඳවීම අනුව මිස, මනුෂ්‍යයාගේ ක්‍රියා මත රඳා නැති බව ස්ථීර වන පිණිස ය. “මම ජාකොබ්ට ප්‍රේම කෙළෙමි. ඒසව්ට ද්වේෂ කෙළෙමි”යි ලියා තිබෙන්නේත් ඒ නිසා ය. එසේ නම් අපි කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේගේ තීන්දුව අසාධාරණ ද? කොහෙත් ම නැත. මන්ද, “මම දයාව දක්වන්නට කැමැති අයට දයාව දක්වන්නෙමි; අනුකම්පාව දක්වන්නට කැමැති අයට අනුකම්පාව දක්වන්නෙමි”යි උන් වහන්සේ මෝසෙස්ට වදාළ සේක. එහෙයින් සියල්ල රඳා ඇත්තේ මිනිසාගේ කැමැත්ත පිට වත්, ශ්‍රමය පිට වත් නොව, දෙවියන් වහන්සේගේ දයානුකම්පාව පිට ය. මන්ද, “මා නුඹ පත් කෙළේ හුදෙක් නුඹ කරණකොටගෙන මාගේ බලය පා මාගේ නාමය ලොව පුරා ප්‍රකාශ කරන පිණිස ය”යි ශුද්ධ ලියවිල්ලෙහි පාරාවෝට කියා ඇත. මෙසේ සිය කැමැත්ත අනුව උන් වහන්සේ ඇතැමෙකුට දයාව දක්වන සේක; ඇත්මෙකුගේ සිත් දැඩි කරන සේක.

රෝම 9 කියවන්න

මෙයට අදාළ වීඩියෝ

රෝම 9:1-18 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය