රෝම 6:8-20
රෝම 6:8-20 NRSV
අපි ක්‍රිස්තුන් වහන්සේ සමඟ මැරුණෙමු නම්, උන් වහන්සේ සමඟ ජීවත් වන බව ද විශ්වාස කරමු. උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ යළිත් නොමැරෙන බව ද අපි දනිමු. මින් මතු මරණය උන් වහන්සේ කෙරේ බල පවත්වන්නේ නැත. උන් වහන්සේ මරණයට පත් වීමෙන් එක ම වරක් පාපය නිසා මළ සේක; එහෙත් දැන් ජීවත් වන ජීවිතයෙන් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වන සේක. ඔබත් එසේ ම පාප විමුක්තිය ලත් අය බව ද, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ උදෙසා ජීවත් ව සිටින්නන් බව ද සිතට ගන්න. ඔබ කායික තෘෂ්ණාවලට අවනත නොවන ලෙස මින් මතු ඔබගේ මැරෙන සුලු ශරීරයෙහි පාපය රජකම් නොකෙරේ වා. තවද ඔබේ ඉන්ද්‍රියයන් අදමිටුකමේ ආයුධ වන ලෙස පාපයට භාර නොදෙන්න. එසේ නොකර මළවුන් කෙරෙන් උත්ථාන වූ අය මෙන් දෙවියන් වහන්සේට කැප වී, ඔබේ ඉඳුරන් දමිටුකමෙහි ආයුධ වන ලෙස උන් වහන්සේට භාර කරන්න. මින් මතු ඔබේ ස්වාමියා, පාපය නොවේ; මන්ද, ඔබ නීතිය යටතෙහි නොව, දේව වරප්‍රසාදය යටතෙහි ජීවත් වන බැවිනි. එසේ නම් කුමක් කරමු ද? නීතිය යටතෙහි නොව, දේව වරප්‍රසාදය යටතෙහි සිටින බැවින් අපි පව් කරමු ද? කොහෙත්ම නැත. ඔබ යමෙකු යටතේ වහල් සේවයට බැඳුණොත්, ඔබ ඒ ස්වාමියාගේ දාසයන් වන බව නොදන්නහු ද? පාපය ඔබේ ස්වාමියා වුවහොත්, එහි විපාකය මරණය වේ. දෙවියන් වහන්සේට කීකරුකම ඔබේ ස්වාමියා වුවහොත් එහි විපාකය දමිටු බව වේ. වරක් පාපයට දාසයන් ව සිටි ඔබ, දැන් ඔබට භාර දී ඇති ඉගැන්වීමට මුළු සිතින් කීකරු වූ බැවින් දෙවියන් වහන්සේට ස්තුති වේ වා! ඔබ පාපයෙන් නිදහස ලැබූ විට දමිටුකමේ දාසයෝ වූවහු ය. ඔබගේ තේරුම් ගැනීමේ දුර්වලතා මා දන්න නිසා නිදර්ශන දක්වමින් ඔබට කතා කරමි. එනම්, ඔබ වරක් අයුතුකම් කරන ලෙස ඔබේ ඉන්ද්‍රියයන් අපිරිසුදුකමේත් අයුක්තියේත් වහල් සේවයට භාර දුන්නාක් මෙන්, දැන් පාරිශුද්ධත්වය සඳහා ඔබේ ඉඳුරන් දමිටුකමේ වහල් සේවයට භාර දෙන්න. ඔබ පාපයට දාසයන් ව සිටිය දී දමිටුකමේ නියමයන්ට නොබැඳී සිටියහු ය.

