රෝම 6:1-11

රෝම 6:1-11 NRSV

එසේ නම් කුමක් කියමු ද? දේව වරප්‍රසාදය වැඩි වන පිණිස පාපයෙහි නිරත වී සිටිමු ද? නැත, කොහෙත් ම නැත; පාපයෙන් විමුක්තිය ලැබූ අප එහි තවදුරටත් ජීවත් වන්නේ කෙසේ ද? බව්තීස්ම-ස්නාපනයෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා සමඟ ඒකාබද්ධ වූ අප සියල්ලන් ම එම බව්තීස්ම-ස්නාපනයෙන් උන් වහන්සේගේ මරණයෙහි, උන් වහන්සේ හා සමඟ ඒකාබද්ධ වූ බව ඔබ නොදන්නහු ද? එබැවින් අපේ බව්තීස්ම-ස්නාපනයෙන් අපිත් උන් වහන්සේගේ මරණයට, සම්බන්ධ වී උන් වහන්සේ සමඟ වළලනු ලැබුවෙමු. එසේ කරනු ලැබුවේ පියාණන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියාවෙන් ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය ලැබූ සේ ම, අප ද නව ජීවන මඟක ගමන් කරනු සඳහා ය. උන් වහන්සේගේ මරණය වැනි සිද්ධියකින් අපි උන් වහන්සේ හා සමඟ එක් වුණෙමු නම්, උන් වහන්සේගේ උත්ථානය වැනි සිද්ධියකින් ද අපි උන් වහන්සේ හා සමඟ එක් වන්නෙමු. මින් මතු අප පාපයට වහල් නොවන පිණිස අපේ පාපී ස්වභාවය නැති වන සේ අපේ පූර්ව මිනිස් ගතිය උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ බව අපි දනිමු. මන්ද, මළා වූ තැනැත්තාට පාපය ගැන වගකීමක් නැත. අපි ක්‍රිස්තුන් වහන්සේ සමඟ මැරුණෙමු නම්, උන් වහන්සේ සමඟ ජීවත් වන බව ද විශ්වාස කරමු. උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ යළිත් නොමැරෙන බව ද අපි දනිමු. මින් මතු මරණය උන් වහන්සේ කෙරේ බල පවත්වන්නේ නැත. උන් වහන්සේ මරණයට පත් වීමෙන් එක ම වරක් පාපය නිසා මළ සේක; එහෙත් දැන් ජීවත් වන ජීවිතයෙන් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වන සේක. ඔබත් එසේ ම පාප විමුක්තිය ලත් අය බව ද, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ උදෙසා ජීවත් ව සිටින්නන් බව ද සිතට ගන්න.

රෝම 6 කියවන්න

රෝම 6:1-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය