රෝම 3:2-26

රෝම 3:2-26 NRSV

එසේ ය, බොහෝ සේ ඇත. දෙවියන් වහන්සේගේ පණිවුඩය භාර කරන ලද්දේ ජුදෙව්වරුන්ට බව මුලින් ම කිව යුතු ය. හොඳයි, සමහරෙක් එය අවිශ්වාස කළාහු නම්, ඒ අවිශ්වාසය නිසා දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම නිෂ්ප්‍රභ වන්නේ ද? සැබැවින් ම එසේ නොවනු ඇත. මිනිසුන් හැම දෙනා ම බොරුකාරයන් වුවත්, දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ බව නිසැක ය. ඒ බවට ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි: “ඔබ වදාරන වචනයෙන් ඔබේ ධර්මිෂ්ඨ බව ප්‍රකාශ වන්නේ ය, ඔබ විනිශ්චය කරනු ලබන කල ඔබට ජය අත් වන්නේ ය.” අපේ අධර්මිෂ්ඨකම නිසා දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම කැපී පෙනේ නම්, අපි කුමක් කියමු ද? අපට දඬුවම් දෙන විට දෙවියන් වහන්සේ අසාධාරණ යයි ලෝක ව්‍යවහාරය අනුව කිය හැකි ද? කිසි සේත් ම කිව නොහැකි ය. දෙවියන් වහන්සේ අසාධාරණ නම්, උන් වහන්සේ ලෝකය විනිශ්චය කරන්නේ කෙසේ ද? ඉතින්, මාගේ අසත්‍යය නිසා දෙවියන් වහන්සේගේ සත්‍යය වඩාත් කැපී පෙනී, එය උන් වහන්සේගේ ගෞරවයට ඉවහල් වේ නම්, මා පව්කරුවෙකැ යි තීන්දු කරන්නේ මන් ද? එසේ නම්: “යහපත සිදුවන ලෙස නපුර කරමු”යි කියමු ද? අප එසේ කියති යි සමහරු අපට අපහාස කරති. එවැනි අයට ලැබිය යුතු දඬුවම ලැබෙනු ඇත. හොඳයි, එසේ නම්, ජුදෙව්වරුන් වන අප විජාතීන්ට වඩා උසස් ද? කොහෙත් ම නැත. ජුදෙව්වරුන් ද විජාතීන් ද යන දෙපක්ෂය ම පාපයේ බලයට යටත් වී ඇතැ යි අපි කලින් පෙන්වා දුනිමු. ඒ ගැන ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි: “ධර්මිෂ්ඨ වූ කිසිවෙක් නැත, එක් කෙනෙක් වත් නැත; හරි දැනුම ඇති එක් කෙනෙක් වත් නැත; දෙවියන් වහන්සේ සොයන එක් කෙනෙක් වත් නැත. හැම දෙන ම මුළා ව ගොස් සිටිති, හැම දෙන ම එක සේ නොමඟ ගොස් සිටිති. යහපත කරන කිසිවෙක් නැත, එක් කෙනෙක් වත් නැත. ඔවුන්ගේ උගුර විවර වූ මිනී වළක් වැනි ය. ඔව්හු සිය දිව්වලින් මුසාවාද පවසති. ඔවුන්ගේ තොල් යට පොළොං විස ඇත. ඔවුන්ගේ මුඛය කටුක සාපයෙන් පිරී ඇත. ඔවුන්ගේ පාද ලේ වැගිරීමට යුහුව දුවයි. ඔවුන් යන යන තැන විනාශයත් කාලකණ්ණිකමත් ඇත. සාම මාවත ගැන ඔවුන්ට දැනුමක් නැත, ඔවුන්ගේ ඇස් ඉදිරියේ දේව බිය නොමැත.” ඉදින් ව්‍යවස්ථාවෙහි කියන ලද සියල්ල ම ව්‍යවස්ථාව යටතෙහි සිටින්නන්ට කියන ලද බව අපි දනිමුව. එසේ වන්නේ සියල්ලන්ගේ කටවල් පියවනු ලබන පිණිසත්, මුළු ලෝකයා දෙවියන් වහන්සේගේ විනිශ්චයට යටත් කරනු ලබන පිණිසත් ය. ඊට හේතුව මේ ය; ව්‍යවස්ථාව පිළිපැදීමෙන් කිසි ම මනුෂ්‍යයෙක් දමිටු බවට පත් කරනු නොලබයි. ව්‍යවස්ථාවෙන් සිදුවන්නේ පාපය පිළිබඳ හැඟීම ඇති කිරීම ය. එහෙත්, දැන් මිනිසුන් දමිටු බවට පමුණුවාලීම පිළිබඳ දෙවියන් වහන්සේගේ ක්‍රියා මාර්ගය එළිදරව් වී තිබේ. ව්‍යවස්ථාව හා දිවැසාවලිය ඊට සාක්ෂි දුන් නමුත් එය කිසි සේත් ව්‍යවස්ථාව පිට රඳා නැත. ඒ වනාහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන අදහන සියල්ලන් දෙවියන් වහන්සේ විසින් දමිටු බවට පමුණුවනු ලැබීමේ මාර්ගය වේ. එය කිසි වෙනසක් නැති ව, අදහන්නා වූ හැම දෙනාට ම ලබාගත හැකි ය. සියල්ලෝ ම පව් කොට දෙවියන් වහන්සේගේ ගැළවීමේ මාර්ගයෙන් ඉවත් වී සිටිති. දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ අත් කර දුන් ගැළවීම කරණකොටගෙන, සියල්ලෝ ම නොමිලයේ දමිටු බවට පත් කරනු ලැබ සිටිති. ඇදහිල්ලෙන් පව් කමාව ලබනු සඳහා, ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය මරණයෙන් පව් නසන පූජාවක් වීමට දෙවියන් වහන්සේ නියම කළ සේක. එසේ කෙළේ, උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිස ය. පෙර කාලවල උන් වහන්සේගේ ඉවසීමෙන්, මිනිසුන්ගේ පව් ගණන් නොගෙන හැරිය සේක. එහෙත් මේ කාලයේ දී උන් වහන්සේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිස මිනිසුන්ගේ පව් සලකා බලන සේක. දෙවියන් වහන්සේ මෙලෙස කිරීමෙන් උන් වහන්සේ ධර්මිෂ්ඨ බවත්, ක්‍රිස්තුන් වහන්සේ අදහන කවරෙකු වුවත් දමිටු බවට පමුණුවන බවත් පෙන්වන සේක.

රෝම 3 කියවන්න

මෙයට අදාළ වීඩියෝ

රෝම 3:2-26 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය