රෝම 1:8-14
රෝම 1:8-14 NRSV
පළමුකොට, ඔබගේ ඇදහිල්ල ලොව පුරා පතළ වී ඇති බැවින් ඔබ සියල්ලන් ගැන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් මාගේ දෙවියන් වහන්සේට තුති පුද කරමි. ස්වකීය පුත්‍රයාණන්ගේ සුබ අස්න දේශනා කිරීමෙන් මා මුළු සිතින් සේවය කරන දෙවියන් වහන්සේ ම, මෙහි මා කියන දේ සත්‍ය බවට සාක්ෂි දරනු ඇත. මාගේ යාච්ඤාවල දී නිරන්තරයෙන් ඔබ ගැන සඳහන් කරන විට දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් ඔබ දැකගැන්මට ඊමේ අවස්ථාවක් සැලසෙන ලෙස මා නිතර ම අයැදින බව දෙවියන් වහන්සේ දන්නා සේක. ඔබ ධෛර්යවත් කරවන පිණිස යම්කිසි ආධ්‍යාත්මික ආශීර්වාදයක් හවුලේ භුක්ති විඳීමට ඔබ දැකගැනීමේ තද ආශාවක් මට ඇත. ඉන් මා අදහස් කරන්නේ, මාගේ ඇදහිල්ල නිසා ඔබ ද ඔබේ ඇදහිල්ල නිසා මා ද ශක්තිසම්පන්න වීම ය. මාගේ සහෝදරවරුනි, අන්‍ය ජාතීන් අතර මෙන් ඔබ අතරෙහිත් යම් ප්‍රතිඵලයක් අත්පත් කරගන්නා පිණිස, මම ඔබ වෙත ඊමට බොහෝ වර උත්සාහ දැරීමි. එහෙත් මේ වන තුරු එය සාර්ථක නො වූ බව ඔබට දන්වනු කැමැත්තෙමි. ග්‍රීකයන් හා අන්‍යයන් ද උගතුන් හා නූගතුන් ද සම්බන්ධයෙන් මට වගකීමක් ඇත.

