එළිදරව්ව 2:18-26

එළිදරව්ව 2:18-26 NRSV

“තියාතිරා සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘ගිනි දැල්ලක් වැනි ඇස් ද, ඔපයෙන් දිළිසෙන ලෝකඩ වැනි පාද ද ඇති දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මෙසේ වදාරන සේක. ඔබේ ක්‍රියා ද ප්‍රේමය ද විශ්වාසවන්තකම ද සේවය ද ඉවසිල්ල ද මම දනිමි. තවද, මෑතක දී ඔබ කළ ක්‍රියා පෙරට වඩා හොඳ බව ද දනිමි. එහෙත් ඔබට විරුද්ධ ව මේ චෝදනාව මට ඇත. තමා දිවැස්වරියකැ යි කියාගන්නා ජෙසබෙල් නම් ස්ත්‍රියට ඔබ අනුබල දෙන්නහු ය. කාමමිථ්‍යාචාරය කරන්නට ද දේවතා රූපවලට පිදූ පිදේනි කන්නට ද උගන්වමින් ඈ මාගේ සේවකයන් මුළා කරන්නී ය. පසුතැවී සිත හරවා ගැනීමට මා ඇයට කාලය දී ඇත. එහෙත් ඈ කාමමිථ්‍යාචාරය ගැන පසුතැවී සිත හරවා ගැනීමට අකමැති වන්නී ය. එබැවින් මම ඇය දුක් යහනක හෙළා, ඇය සමඟ කාමමිථ්‍යාචාරය කරන්නන් පසුතැවී සිත් හරවා නොගතහොත්, ඔවුන් ද ඇය සමඟ දරුණු පීඩාවකට පත් කරන්නෙමි. තවද මම ඇගේ දරුවන් වනසාලන්නෙමි. එවිට, මිනිසුන්ගේ සිතුම්පැතුම් විමසන තැනැන් වහන්සේ මා බව, සියලු සභාවෝ දැන ගන්නහු ය. තවද, මම ඔබට එකිනෙකාගේ ක්‍රියා අනුව විපාක දෙන්නෙමි. ‘එහෙත් මේ ඉගැන්වීම් නොපිළිගත්, සාතන්ගේ යයි හඳුන්වනු ලබන ගුප්ත කරුණු නොදත්, තියාතිරාවෙහි සිටින සෙසු අයට මම මෙසේ කියමි. මා එන තුරු ඔබට ඇති දේ තුළ ස්ථීර ව පවතින්න. වෙන බරක් ඔබ පිට මම නොතබමි. අග දක්වා මාගේ ක්‍රියා නොපිරිහෙළා ඉටු කරන ජයග්‍රාහකයාට පියාණන් වහන්සේගෙන් මා ලැබූ ලෙස, ජාතීන් කෙරෙහි බලය පවරා දෙන්නෙමි