එළිදරව්ව 2:1-17
එළිදරව්ව 2:1-17 NRSV
“එපීස සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘සිය දකුණතෙහි තාරකා සත දරන, රන් පහන් රුක් සත මැද සක්මන් කරන තැනැන් වහන්සේ, මෙසේ වදාරන සේක. ඔබේ ක්‍රියා ද ඔබේ වෙහෙසීම් ද ඔබේ ඉවසීම ද මම දනිමි. ඔබ දුදනන් නුරුස්සන බව ද, ප්‍රේරිතවරුන්ගේ පදවිය අයුතු ලෙස පවරාගත් අය සෝදිසි කර බලා ඔබ ඔවුන් බොරුකාරයන් යයි දැනගත් බව ද මම දනිමි. මාගේ නාමය නිසා, ඔබ ඉවසිල්ලෙන් දුක් ඉසිලීමේ දී පසුබට නො වූ බව ද මම දනිමි. ‘එහෙත් ඔබට විරුද්ධ ව එක චෝදනාවක් මට ඇත. මුලින් ඔබ මට දැක්වූ ප්‍රේමය දැන් නැත. ඔබ කෙතරම් පහතට වැටී ඇත් දැ යි සිහියට ගෙන, පසුතැවී සිත හරවා ගන්න. මුලින් කළ ක්‍රියා නැවත කරන්න; එසේ නොකළොත්, පසුතැවී සිත හරවා නොගතහොත්, මම ඔබ වෙත පැමිණ, ඔබේ පහන් රුක තිබෙන තැනින් එය ඉවත් කරන්නෙමි. එහෙත් ඔබේ වාසියට එක දෙයක් ඇත. එනම්, මා මෙන් ම ඔබත් නිකොලයිතයන්ගේ ක්‍රියාවලට ද්වේෂ කිරීම ය. ‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා! ජයග්‍රාහකයාට දෙවියන් වහන්සේගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් අනුභව කරන්නට දෙන්නෙමි.’ “ස්මර්ණායේ සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘පළමුවැන්නා ද අන්තිමයා ද වන, මැරුණ නමුත් ජීවත් ව සිටින තැනැන් වහන්සේ, මෙසේ වදාරන සේක. ඔබ විඳින බලවත් පීඩාව ද දිළිඳුකම ද මම දනිමි. එහෙත් ඔබ ධනවත් ය. ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරුන් යයි කියාගන්නා, සාතන්ගේ හවුලක් වන අයගේ අපවාද මම දනිමි. ඔබ විඳින්නට යන දේවලට බිය නොවන්න. බලන්න, ඔබ විමසන පිණිස, යක්ෂයා ඔබෙන් සමහරෙකු සිරගත කිරීමට අර අඳිමින් සිටියි. දස දවසක් ඔබ පීඩා විඳින්නහු ය. මරණය දක්වා විශ්වාසී ව සිටින්න; එවිට මම ඔබට ජීවන කිරුළ ප්‍රදානය කරමි. ‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා! ජයග්‍රාහකයාට දෙ වන මරණයෙන් අනතුරක් නොවන්නේ ය.’ “පෙර්ගමම් සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘දෙමුවහත් තියුණු කඩුව දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක. ඔබ වාසය කරන තැන මම දනිමි. එය සාතන්ගේ සිංහාසනය පිහිටි ස්ථානය යි. එහෙත් ඔබ මට පක්ෂපාත ව සිටින්නහු ය. මාගේ විශ්වාසවන්ත සාක්ෂිකාරයෙකු වූ අන්තිපාස්, සාතන්ගේ වාසභූමිය වන ඔබේ නගරයේ දී මරනු ලැබූ කාලයේ දී පවා, ඔබ මා කෙරෙහි විශ්වාසය ප්‍රතික්ෂේප නොකළහු ය. එහෙත් ඔබට විරුද්ධ ව චෝදනා ස්වල්පයක් මට ඇත. ඔබ අතර බාලාම්ගේ ඉගැන්වීම් පිළිගත් අය සිටිති. බාලාම්, දේවතා රූපවලට පිදූ පිදේනි කෑමටත්, කාමමිථ්‍යාචාරය කිරීමටත්, ඉශ්රායෙල් සෙනඟ පෙළඹවීමට බාලාක්ට ඉගැන්වී ය. එලෙස ම නිකොලයිතයන්ගේ ඉගැන්වීම් පිළිගත් අයත් ඔබ අතර සිටිති. එබැවින්, පසුතැවී සිත හරවා ගන්න. එසේ නුවූවොත්, මම විගසින් ඔබ වෙත පැමිණ, මාගේ මුඛයෙන් නික්මෙන කඩුවෙන් ඔවුන්ට විරුද්ධ ව සටන් කරන්නෙමි. ‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා! සැඟවී තිබෙන මන්නා ආහාරයෙන් ජයග්‍රාහකයාට දෙන්නෙමි. තවද ලබන්නා මිස අන් කිසිවෙකු නොදන්නා අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක් ද මම ඔහුට දෙන්නෙමි.’

