එළිදරව්ව 19:1-10

එළිදරව්ව 19:1-10 NRSV

ඉන්පසු ස්වර්ගයේ විශාල පිරිසකගේ මහා හඬක් මට ඇසිණි. ඔව්හු මෙසේ කී හ: “අලේලූයා! විමුක්තිය ද මහිමය ද බලය ද අපගේ දෙවියන් වහන්සේට හිමි ය. මන්ද, උන් වහන්සේගේ විනිශ්චය නිවැරදි ය, සාධාරණ ය, සිය වේශ්‍යාකමින් පොළොව දූෂණය කළ ප්‍රසිද්ධ වේශ්‍යාව උන් වහන්සේ විනිශ්චය කළ සේක. තමන් වහන්සේගේ මෙහෙකරුවන් මැරීම ගැන ඈට විපාක දුන් සේක.” තව වරක් ඔව්හු, “අලේලූයා! ඇගේ දුම සදහට ම නගින්නේ ය”යි කී හ. තවද කුලදෙටුවෝ විසිහතර දෙනා ද, ජීවමාන සත්ත්වයෝ සතර දෙනා ද වැඳවැටී, “ආමෙන්, අලේලූයා” කියමින් සිංහාසනයේ වැඩහුන් දෙවියන් වහන්සේට නමස්කාර කළහ. තවද, “අපේ දෙවියන් වහන්සේගේ සියලු සේවකයෙනි, උන් වහන්සේට බිය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කියන හඬක් සිංහාසනයෙන් නික්මිණි. එවිට විශාල ජන සමූහයකගේ ඝෝෂාව මෙන් ද, සමුද්‍ර ඝෝෂාවක් මෙන් ද, බලවත් හෙන හඬක් මෙන් ද ශබ්දයක් මට ඇසිණි. ඒ හඬ මෙසේ කී ය: “අලේලූයා! අපගේ සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්සේ රජකම් කිරීමට පටන්ගෙන ඇත. අපි අතිශයින් ප්‍රීති සන්තෝෂවෙමු. උන් වහන්සේට ගෞරවය පිරිනමමු. මන්ද, බැටළු පෝතකයාණන්ගේ සරණ මංගල්‍යය පැමිණ ඇත. උන් වහන්සේගේ මනාලිය සැරසී සිටින්නී ය. බැබළෙන, පිවිතුරු, සිනිඳු වස්ත්‍රයෙන් සැරසෙන්නට ඈට අවසර දී ඇත.” සිනිඳු වස්ත්‍රවලින් සැදැහැවතුන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා හඟවනු ලැබේ. එවිට දේව දූතයා මට කතා කොට: “බැටළු පෝතකයාණන්ගේ සරණ මංගල්‍ය භෝජනයට කැඳවනු ලැබුවෝ භාග්‍යවන්තයෝ ය කියා ලියන්නැ”යි කී ය. “දෙවියන් වහන්සේගේ මේ වචන සත්‍යය”යි තවදුරටත් ඔහු මට කී ය. එවිට නමස්කාර කරන පිණිස මම ඔහුගේ පාමුල වැටුණෙමි. එහෙත් ඔහු: “මට නමස්කාර නොකරන්න. මම, ඔබ ද ඔබේ සහෝදරයන් ද සමඟ හවුල් සේවකයෙක් වෙමි. ජේසුස් වහන්සේ දැරූ සාක්ෂිය අප හැම සතු ය. ඔබ දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කළ යුතු ය”යි මට කී ය. ඒ ජේසුස් වහන්සේ දැරූ සාක්ෂිය දිවැසිවරයන්ගේ ජීව බලය වන බැවිනි.

එළිදරව්ව 19:1-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය