ගීතාවලිය 78:1-8

ගීතාවලිය 78:1-8 NRSV

මාගේ ජනයෙනි, මාගේ ඉගැන්වීමට කන් දුන මැනව. මා පවසන වදන්වලට සවන් දුන මැනව. උපමාවක් මඟින් මම කතා කරන්නෙමි. පුරාතනයේ අබිරහස් පවසන්නෙමි. අප අසා දැනගත් දේවල් ද අපේ පියවරුන් අපට දැන්වූ දේවල් ද අපි දන්වන්නෙමු. දරු මුණුබුරන් කෙරෙන් නොසඟවා ඊළඟ පරපුරට දන්වන්නෙමු. සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා හා බල මහිමය ද එතුමන් කළ හාස්කම් ද කියාපාන්නෙමු. එතුමාණෝ, ඉශ්රායෙල් ජනතාවට නීති නියෝග ද ජාකොබ්ගේ පරපුරට අණපණත් ද දුන් සේක. ඔවුන්ගේ දරුවන්ට ඒවා ඉගැන්වීමට ඔවුන්ගේ පියවරුන්ට අණ දුන් සේක. මෙලෙස ඊළඟ පරපුර ඒවා දැනගන්නෝ ය; ඉපදෙන්නට සිටින දරු පරපුර ඒවා දැනගන්නෝ ය. ඔව්හු නැඟිට ඔවුන්ගේ පරපුරට ඒවා දන්වන්නෝ ය. මෙසේ ඔව්හු දෙවිඳුන් තුළ බලාපොරොත්තුව තබා, එතුමන්ගේ ක්‍රියා කවදා වත් අමතක නොකරන්නෝ ය. එතුමන්ගේ අණපණත් සදහට ම පිළිපදින්නෝ ය. මෙසේ ඔව්හු ඔවුන්ගේ පියවරුන් මෙන් හිතුවක්කාර, කැරලිකාර පරපුරක් නොවන්නෝ ය. මන්ද, ඒ පරපුරේ අය දෙවිඳුන් කෙරෙහි ස්ථිර ව නොසිටියහ. ඔව්හු දෙවිඳුන්ට පක්ෂපාත ව නොසිටියෝ ය.