ගීතාවලිය 22:12-31
ගීතාවලිය 22:12-31 NRSV
මාගේ සතුරෝ ගොන් රැළක් මෙන් මා වටකර සිටිති. බාෂාන්හි කුළු හරකුන් මෙන් මා වටලා සිටිති. ගොදුරු කකා ගොරවන සිංහයන් මෙන් කට අයා, ඔව්හු මා දෙස බලා සිටිති. මම බිම ඉහිරුණ වතුර වැනි ය. මාගේ ඇඟ කටු හන්දිවලින් වෙන් වී ඇත. මසිත මා තුළ උණු වී ගිය ඉටි පිඬක් වැනි ය. මාගේ උගුර කැබිලිත්තක් මෙන් වියළී තිබේ. මාගේ දිව ද උඩුතල්ලේ ඇලී ඇත. ඔබ මා මළ කෙනෙකු මෙන් පසට භාර දී ඇත. මන්ද, නපුරු මිනිස්සු බලු රැළක් මෙන් මා වටකර ගත්තෝ ය. මැරවරයෝ රැළක් මා වටලා ගත්තෝ ය. ඔව්හු මාගේ දෑත් දෙපා සිදුරු කළෝ ය. මාගේ ඇටකටු ගණන් කළ හැකි තරමට පෑදී ඇත. සතුරෝ මා දෙස රවා ඔරවා බලති. මාගේ වස්ත්‍ර තම තමන් අතර බෙදා ගනිති; මාගේ සළුව ගැනීමට දාදු දමති. හිමි තුමාණෙනි, මා හැර දමා ඈත් නොවනු මැනව; මාගේ බලය වන ඔබ මට පිහිට වන්නට කඩිනම් වුව මැනව. කඩුවෙන් මා මිදුව මැනව; ඒ බල්ලන්ගේ උවදුරෙන් මා ගැළෙවුව මැනව. සිංහ කටෙන් මා ගැළෙවුව මැනව; කුළු හරකුන්ගේ අංවලට මැදි වූ මා මිදුව මැනව. ඔබේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශ කරන්නෙමි; බැතිමතුන්ගේ සභාවේ දී ඔබට ප්‍රශංසා කරන්නෙමි. හිමි සමිඳාණන්ට ගරුබිය ඇත්තෙනි, එතුමන් පසසන්න; ජාකොබ් වංශයේ සියල්ලෙනි, එතුමන්ට ගෞරවය දෙන්න; ඉශ්රායෙල් වංශයේ සියල්ලෙනි, එතුමන් ඉදිරියෙහි ගරු බියෙන් සිටින්න; එතුමාණෝ විපතට පත් අයගේ විපතට අවමන් නොකළ සේක; එය පිළිකුල් කොට නොසිතූ සේක; ඔහු කෙරෙන් සිය මුහුණ අහකට හරවා නොගත් සේක; ඔහු හඬගැසූ කල එතුමාණෝ සවන් දුන් සේක. මහා සභාවේ මාගේ ප්‍රශංසාවේ තේමාව ඔබ ය. එතුමන්ට ගරුබිය ඇති අය අබිමුව මාගේ භාර ඉටු කරන්නෙමි. දුගී දුප්පත් අය කා බී තෘප්තිමත් වන්නෝ ය; හිමි තුමන් සොයන්නෝ එතුමන්ට ගී පසස් නඟන්නෝ ය. ඔව්හු සදහට ම සෞභාග්‍යය ලබත් වා! මහ පොළොවේ සතර දිගින් ජනයෝ සමිඳුන් සමරමින් එතුමන් වෙත හැරී එති. සකල ලෝක වාසීහු ඔබ අබිමුව වැඳ වැටෙති. මන්ද, සමිඳාණෝ රජිඳාණෝ ය, ජාතීන්ගේ පාලකයාණෝ ය. පොළොවෙහි උඩඟු අය එතුමන්ට වැඳ වැටෙනු ඇත; පොළොවේ මැරෙන සුලු අය එතුමන් නමදිනු ඇත. මාගේ වංශය එතුමන්ට මෙහෙ කරනු ඇත; මතු පරම්පරාවලට සමිඳුන් පිළිබඳ මෙපුවත කියනු ඇත. “එතුමාණෝ මෙසේ කළ සේකැ”යි කියමින්, ඔව්හු මතු ඇති වන පරම්පරාවලට එතුමන්ගේ දැහැමි ක්‍රියා පවසනු ඇත.

