ගීතාවලිය 144

144
ජය දෙන සමිඳුන්ට පැසසුම්
දාවිත්ගේ ගීතයකි.
1මාගේ පර්වතය වන සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
එතුමාණෝ යුද්ධයට මාගේ අත් ද සටනට මාගේ ඇඟිලි ද පුහුණු කරන සේක.
2එතුමාණෝ මට කරුණා නිධානය ය;
මාගේ බලකොටුව ය;
මාගේ උස් කොටුව හා මාගේ මිදුම්කරු ය;
මාගේ පලිහ ය.
මා විශ්වාසය තබන තැනැන් වහන්සේ ය.
ජාතීන් මට යටත්කර දෙන්නේ එතුමාණෝ ය.
3 # ජෝබ් 7:17-18; ගීතා 8:4 සමිඳුනි, ඔබ, මිනිසා ගැන කල්පනා කරන්න තරම් ඔහු කවරෙක් ද?
මිනිසා ගැන සලකන්න තරම් ඔහු කවරෙක් ද?
4මිනිසා සුළං රොදකට සමාන ය;
ඔහුගේ කාලය පහ වී යන හෙවණැල්ලක් වැනි ය.
5සමිඳුනි, ඔබ අහස විවර කොට බැස වැඩිය මැනව.
කඳුවලින් දුම් නඟින පිණිස ඒවා ස්පර්ශ කළ මැනව.
6විදුලිය විහිදුවා රුපුන් විසුරුවා හැරිය මැනව.
ඔබේ ඊතල විද ඔවුන් පලවා හැරිය මැනව.
7සගලොවින් ඔබේ හස්තය දිගු කළ මැනව.
මහා ජල ගැල්මෙන් ද විදේශීන්ගේ අතින් ද මා බේරා මුදාගත මැනව.
8ඔවුන්ගේ මුවින් නික්මෙන්නේ බොරු ය;
දිවුරුම් දී ඇතත් කියන්නේ බොරු ම ය.
9දෙවිඳුනි, ඔබට නව ගීයක් ගයන්නෙමි.
තත් දසයේ වීණාව ගෙන ඔබට පසස් ගී ගයන්නෙමි.
10රජුන්ට ජය දෙන්නේත්, ඔබේ මෙහෙකරු දාවිත් රුදුරු කඩුවෙන් මුදාගන්නේත් ඔබ ය.
11විදේශීන්ගේ අතින් මා බේරා මුදාගත මැනව.
ඔවුන්ගේ මුවින් නික්මෙන්නේ බොරු ය;
ඔවුන් දිවුරුම් දී ඇතත් කියන්නේ බොරු ම ය.
12තරුණ වියේ සිටින අපේ පුත්‍රයෝ වැඩුණු පැළ මෙන් වෙත් වා!
අපේ දූවරු මාලිගාවල කැටයම් කරන ලද මනහර කණු මෙන් වෙත් වා!
13අපේ ගබඩා සියලු ආකාර ධනයෙන් පිරේ වා!
අපේ කෙත්වල බැටළුවෝ දහස් ගණන්, දස දහස් ගණන් බිහි කරත් වා!
14අපේ ගවදෙන්නු ගැබ් ගැනීමට ශක්ති සම්පන්න වෙත් වා!
ගබ්සා වීමක් වත්, අකලට ඉපදීමක් වත් නො වේ වා!
අපේ වීදිවල විලාප හැඬීම් නො වේ වා!
15මෙයාකාර ආසිරි ලත් සෙනඟ වාසනාවන්ත ය.
සමිඳාණෝ තම දෙවිඳාණෝ යැයි පිළිගත් සෙනඟ වාසනාවන්ත ය.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 144: NRSV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න