හිතෝපදේශ 11:10-22

හිතෝපදේශ 11:10-22 NRSV

දැහැමි අයට සෙත සැලසෙන විට නගරය ප්‍රීති වෙයි; නොදැහැමියන් නසින විට නගරය ඔල්වර හඬ නඟයි. අවංක අයගේ ආශීර්වාදයෙන් නගරය උසස් වෙයි; එහෙත් දුදනන්ගේ වදනින් එය බිඳ වැටෙයි. සිය අසල්වැසියා හෙළා දකින්නා අනුවණයෙකි; එහෙත් නුවණැත්තා නිහඬ ව සිටියි. කේලාම් පතුරන්නා රහස් හෙළි කරයි. එහෙත් විශ්වාසවන්තයා රහස් සඟවා තබාගනියි. දක්ෂ නායකත්වය නැති තැන සෙනඟ පිරිහෙති; එහෙත් අනුශාසකයන් රැසක් සිටියොත් රට සුරැකේ. නොදන්න කෙනෙකුට ඇප වෙන්නා විපතට පැමිණෙයි; එසේ ඇප නොවෙන්නා සුරැකි ව සිටියි. විනීත වනිතාව ආත්ම ගෞරවය දිනාගනියි; එහෙත් අවිනීත ස්ත්‍රිය නින්දාවකි. අලසයා අත කිසි විටෙක මුදල් නැත; උත්සාහවන්තයා ධනවත් වෙයි. කාරුණික මිනිසා තමාගේ ම මිතුරා ය; ක්‍රෑර මිනිසා තමාගේ ම සතුරා ය. දුෂ්ටයා වංචාවෙන් ලබන දේ මායාවකි. එහෙත් යහපත වපුරන්නාට අස්වැන්නක් නියත ය. දැහැමි ජීවිතයෙහි පිහිටි අය ජීවනය ලබති; නපුරු මඟ යන්නෝ මරණය ළඟා කර ගනිති. වංක අය සමිඳුන් හට පිළිකුලකි; අවංක අය එතුමන්ට සතුටකි. දුෂ්ටයා දඬුවම් ලබනු සහතික ය; එහෙත් සුදනන්ගේ පරපුර ඉන් නිදහස් වනු ඇත. ඌරෙකුගේ හොම්බෙහි ලූ රන් මුදුව යම් සේ ද අනුවණ කාන්තාවගේ රූ සපුව ද එසේ ම ය.