ගණන් කථාව 32:1-15
ගණන් කථාව 32:1-15 NRSV
රූබන්ගේ පෙළපතේ අයට සහ ගාද්ගේ පෙළපතේ අයට ගවයෝ ඉතා විශාල ගණනක් සිටියහ. ජාශර් දේශය සහ ගිලියද් දේශය ගවයන්ට කෙතරම් සුදුසු ද කියා දුටු විට ඔව්හු මෝසෙස් ද පූජක එලෙයාසර් සහ ජනතාවගේ නායකයන් ද වෙත අවුත්: “අටාරොත්, දීබොන්, ජාශර්, නිම්රා, හෙෂ්බොන්, එලෙයාලේ, සෙබාම්, නෙබො සහ බියොන් යන නගර පිහිටා ඇති, ඉශ්රායෙල් ජනතාවට පදිංචි වීම සඳහා සමිඳාණන් වහන්සේ පහර දුන් දේශය ගවයන්ට සුදුසු ය. තවද, ඔබේ දාසයන් වන අපට ගවයෝ සිටිති. එබැවින් ඔබ අපට අනුග්‍රහය දක්වන්නහු නම්, මේ දේශය ඔබේ දාසයන් වන අපට උරුම කොට දෙනු මැනවි. අප ජොර්දාන් නදියෙන් එතෙරට ගෙන නොයන්නැ”යි කී හ. එවිට මෝසෙස් ගාද්ගේ පරපුරේ අයට සහ රූබන්ගේ පරපුරේ අයට මෙසේ කී ය: “ඔබ හැමගේ අනෙක් සෙනඟ යුද්ධයට යන අතර ඔබ හැම මෙහි නවතින්නට අරඅඳින්නහු ද? සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයාට දෙන්නට යන දේශයට ඔවුන් නොයන ලෙස ඔවුන්ගේ සිත් අධෛර්ය කරන්නේ මන් ද? රට බැලීමට මා ඔබ හැමගේ පියවරුන් කාදෙෂ්-බර්නේයේ සිට යැවූ කල ඔවුන් කෙළේත් එයම යි. ඔවුන් එෂ්කොල් මිටියාවතට ගොස්, රට දුටු විට, ඉශ්රායෙල් ජනයාට සමිඳාණන් වහන්සේ දුන් දේශයට ඔවුන් නොයන ලෙස ඔව්හු ඔවුන්ගේ සිත් අධෛර්ය කළහ. එවිට උන් වහන්සේගේ උදහස ඇවිළී, ‘මිසර දේශයෙන් නික්ම පැමිණි අවුරුදු විස්සකට හා ඊට වැඩි වයසැති අය මට සම්පූර්ණයෙන් ම අවනත නො වූ බැවින් ඔවුන්ගෙන් කිසිවෙකු මා ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට පොරොන්දු වූ දේශය නොදකිනු ඇත. එහෙත්, කෙනෙස්සි ජාතික ජෙපුන්නේගේ පුත් කාලෙබ් සහ නූන්ගේ පුත් ජෝෂුවා මට සම්පූර්ණයෙන් අවනත වූ බැවින් ඔවුන් පමණක් ඒ දේශය දකිනු ඇත’ කියා දිවුළ සේක. මෙසේ උන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් ජනයාට විරුද්ධ ව ඇවිළී ගියෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ මුළු පෙළපත ම නැසී වැනසී යන තෙක්, අවුරුදු හතළිහක් පුරා ම ඔවුන්ට පාළුකරයේ මංමුළා වී යන්නට සැලැසූ සේක. බලන්න, සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් ජනයා වෙත තවත් වැඩි කරවනු පිණිස පාපිෂ්ඨ නව පරපුරක් වන ඔබ හැම ඔබේ පියවරුන්ගේ හිලව්වට දැන් නැඟිට ඇත. ඔබ හැම උන් වහන්සේට අවනත නූණොත්, උන් වහන්සේ යළි මේ සෙනඟ සියල්ලන් පාළුකරයේ අත්හැරදමන සේක. ඔබ මොවුන් වනසාලන්නහු ය.”

